ගීතාවලිය 75 - Sinhala New Revised Version 2018ප්‍රශංසාවේ සහ විනිශ්චයයේ ගීතය ආසාප්ගේ කාව්‍යයකි. ගීතයකි. 1 දෙවිඳුනි, අපි ඔබට තුති කරමු; ඔබේ ප්‍රබල ක්‍රියා ප්‍රකාශ කරමු; ඔබේ නාමයට අයැද තුති කරමු. 2 දෙවි තුමාණෝ මෙසේ වදාරන සේක: “විනිශ්චය කරන කාලය මා නියමකර ඇත. එවිට මම යුක්තිසහගත ව විනිශ්චය කරන්නෙමි. 3 පොළොවත්, එහි සියලු වැසියෝත් කම්පා වන්නෝ ය. එසේ වුවත්, පොළොවේ කණු සවිමත් ව තබන්නේ මම ය.” 4 මම මෙසේ කියමි: “පාරට්ටු කරන්නෙනි, පාරට්ටු නවතාලන්න; දුදනෙනි, අහංකාරකමින් උදම් නොවන්න; 5 මහෝත්තමයාණන්ට විරුද්ධ ව අහංකාර නොවන්න; මැවුම්කරුන් හට විරුද්ධ ව උඩඟුවෙන් කතා නොකරන්න. 6 පෙර අපර දෙදිගින් හෝ උතුරු දකුණු දෙදිගින් හෝ විනිශ්චය නොවන්නේ ය, එය නොඑන්නේ ය. 7 එහෙත්, විනිශ්චය පැමිණෙන්නේ දෙවිඳුන්ගෙන් ය. කෙනෙකු පහතට හෙළන්නේ ද කෙනෙකු ඉහළට ඔසවන්නේ ද උන් වහන්සේ ම ය. 8 සමිඳුන් අතෙහි කුසලානකි; කෝපයෙන් පැසුණු මිදි රසින් එය පිරී ඇත. එතුමාණෝ එයින් බිඳක් වත්කරන සේක. මිහි පිට දුදනෝ එහි අන්තිම බිඳ දක්වා ම බොන්නෝ ය. 9 මම සදහට ම ජාකොබ්ගේ දෙවිඳුන් පසසන්නෙමි; එතුමාණෝ හට සදහට ම ගී ගයන්නෙමි. 10 දුදනන්ගේ ඔද මම බිඳ ලන්නෙමි. එහෙත්, සුදනන්ගේ බලය ඔසවනු ලබන්නේ ය.” |