Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 7 - Sinhala New Revised Version 2018


යුක්තිය සඳහා යැදුම
බෙන්ජමීය කුෂ්ගේ වචන නිසා දාවිත් විසින් සමිඳාණන් වහන්සේට ගායනා කරන ලද කාව්‍යයකි.

1 සමිඳාණන් වහන්ස, මාගේ දෙවියෙනි, මා රැකවරණය ඔබ වෙත ම ය. ලුහුබැඳ එන රුපු කැලෙන් නිදහස් කොට මා මුදාලන්න.

2 නැතහොත්, ගළවන්නට බැරි තැනකට සිංහයෙකු මෙන්, ඔවුන් මා ඩැහැගෙන යනු ඇත; එහිදී මා කැබලි කොට මරා දමනු ඇත.

3 සමිඳුනි, මාගේ දෙවියෙනි, කෙනෙකුට යම් අයුක්තියක් මා කර ඇත්නම්,

4 මිතුරෙකු හට හොඳක් වෙනුවට නපුරක් කර ඇත්නම්, මට වරදක් කළ සතුරෙකු නිදහස් කර ඇරියෙම් නම්;

5 සතුරෝ මා ලුහුබැඳ අවුත් මා අල්ලාගනිත් වා! ඔව්හු මා කපා, කොටා මරත් වා! මාගේ මළකඳ දූවිල්ලෙහි දමත් වා!

6 සමිඳුනි, ඔබේ උදහසින් නැඟුටුණු මැනව; මාගේ එදිරිකාරයන්ගේ කෝපාග්නියට විරුද්ධ ව සිටිය මැනව; අවදි ව මට පිහිට වුව මැනව. ඔබේ නියමය යුක්තිය ඉටු කිරීම ය.

7 සව් ලෝ සත එක් රැස් ව ඔබ වට කර සිටිත් වා! ඉහළ අහසේ ඔවුන් මැද ඔබ සිහසුන් අරා වැඩ සිටින්න.

8 සමිඳාණෝ සව් සත හට යුක්තිය සලසා දෙන සේක. සමිඳුනි, මාගේ දැහැමිකමත්, අහිංසකකමත් අනුව මා විනිශ්චය කළ මැනව.

9 මිනිස් සිතෙහි සිතුම්පැතුම් විමසාලන, දැහැමිකමින් අගතැන් පත් දෙවි උතුමාණෙනි, අදමිටුකම් බිඳ දමන්න; දහම් රජය පිහිටුවන්න.

10 දෙවිඳාණෝ මට රැකවරණය දෙන පලිහ වන සේක; අවංක සිත් ඇතියන් හට පිළිසරණ වන සේක.

11 දෙවිඳාණෝ දැහැමි විනිසකරුවෙක් වන සේක; එහෙත් නිරතුරු ව උදහස් ව නොසිටින සේක.

12 පවිටු දනන් වැරදි මඟින් නොහැරෙන විට, දෙවිඳාණෝ සිය අසිපත තියුණු කරන සේක; දුනු දිය තැත්කවා සූදානම් කරන සේක.

13 මාරක අවි සකස් කරන සේක; ඊතල, ගිනි ඊතල කරන සේක.

14 එසේ වුව ද, නපුරු දනෝ නපුරුකම පිළිසිඳගනිති, අයුතුකම ගැබ් ගෙන සිටිති, මුසාවාදය ප්‍රසූත කරති.

15 ඔව්හු බිම තැනක ගැඹුරු වළක් හාරා තබති, කැපූ වළෙහි ඔව්හු ම වැටෙති.

16 ඔවුන් කළ නපුර ඔවුන් පිට ම ආපසු එයි, ඔවුන්ගේ ඒ දුෂ්ටකම ද ඔවුන්ට ම යළි පටිසන් දෙයි.

17 සමිඳුන්ගේ යුක්තිය ගැන මම තුති ගී ගයමි. අති උත්තම හිමිතුමාණන් හට තුති ගී පවසමි.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්