Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 66 - Sinhala New Revised Version 2018


ජනතාව දෙවියන් වහන්සේ පැසසීම
ගීතයකි.

1 ලෝ වැසි සියල්ලෙනි, දෙවියන් වහන්සේ හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.

2 එතුමාණන්ගේ කීර්තිමත් නාමයට ගී ගයන්න.

3 දෙවි තුමන්ට මෙලෙස කියන්න: “ඔබේ ක්‍රියා කොපමණ බියජනක ද? ඔබේ බලපරාක්‍රමය අතිමහත් ය. එබැවින් ඔබේ සතුරෝ ඔබ අබිමුව බියෙන් මිරිකෙන්නෝ ය.

4 ලෝ වැසි සියල්ලෝ ඔබ නමදින්නෝ ය; ඔබට ගී ගයා ඔබේ නම පසසන්නෝ ය.

5 එන්න, දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා නරඹන්න. එතුමාණන්ගේ ක්‍රියා මිනිසුන් අතර බියජනක ය.

6 එතුමාණෝ මුහුද වියළි බිමක් කළ සේක. සෙනඟ එය මැදින් පයින් ගමන් කළෝ ය. එබැවින් එතුමාණෝ තුළ අපි ප්‍රීති ප්‍රමෝද වන්නෙමු.

7 එතුමාණෝ බලපරාක්‍රමයෙන් සදහට ම ලොව පාලනය කරන සේක; එතුමාණෝ විජාතීන් දෙස නෙත් යොමා බලන සේක. කිසි ම කැරලිකරුවෙක් එතුමාණන්ට එරෙහි ව නොනැඟිටී වා!

8 ජනතාවෙනි, අපේ දෙවිඳුන් හට ආසිරි පතන්න; එතුමාණෝ වෙත නඟන පැසසුම පතුරුවා හරින්න.

9 එතුමාණෝ ජීවතුන් අතර අප රැක ගත් සේක; අපේ පාද නොපැකිළෙන්නට සැලැසූ සේක.

10 අහෝ දෙවිඳුනි! ඔබ අප පරීක්ෂා කළ සේක; රිදී සෝදිසි කරන පරිදි ඔබ අප සෝදිසි කළ සේක.

11 ඔබ අප දැලට අසු කරගත් සේක; අපේ කර පිට තද බර පැටවූ සේක.

12 අප පාගා දැමීමට අප සතුරන් හට ඔබ ඉඩ දුන් සේක; අපි ගිනි මැදින් ද ජලය මැදින් ද ගියෙමු. එහෙත්, ඔබ අප සුරැකි බිමට ගෙනා සේක.

13 දවන යාග පූජා රැගෙන මම ඔබේ නිවාසයට ඇතුල් වන්නෙමි; මාගේ බාරහාර මම ඔබට ඔප්පු කරන්නෙමි.

14 මාගේ තොල්වලින් මම ඒ බාරහාර ප්‍රකාශ කෙළෙමි; මම මාගේ විපතේ දී මා මුවින් ඒවා උච්චාරණය කෙළෙමි.

15 දැවෙන බැටළු පැටවුන්ගේ සුවඳ දුම් සමඟ තරබාරු සතුන්ගෙන් දවන යාග පූජා පුදන්නෙමි. මම ගවයන් ද එළුවන් ද පුදන්නෙමි.

16 දෙවිඳුන් නමදින සියල්ලෙනි! එන්න, සවන් දෙන්න. එවිට එතුමාණන් මට කළ දේ මම කියා දෙන්නෙමි.

17 මා මුවින් මම එතුමාණන්ට මොරගැසුවෙමි; මාගේ දිවෙන් එතුමාණන්ගේ මහිමය ඉහළින් වර්ණනා කෙළෙමි.

18 වරදට මා හද තුළ ආශාවක් තිබේ නම්, මා සමිඳාණෝ මට කවදාවත් සවන් නොදෙන සේක.

19 එහෙත්, දෙවිඳාණෝ මට සවන් දුන් සේක; මාගේ අයැදුම් හඬ ද සලකා බැලූ සේක.

20 දෙවිඳුන්ට ප්‍රශංසා වේ වා! මාගේ අයැදුම එතුමාණෝ ඉවත නොදැමූ සේක; සිය පෙමින් මා ඈත් නොකළ සේක.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්