Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 6 - Sinhala New Revised Version 2018


සුවය පතා යැදුම
දාවිත්ගේ ගීතයකි.

1 සමිඳාණන් වහන්ස, ඔබ උදහසින් මට තරවටු නොකළ මැනව; දැඩි කෝපයෙන් දඬුවම් නුදුන මැනව.

2 සමිඳුනි, දුබල මට කරුණා කළ මැනව; මාගේ ඇටකටු පොඩි වී ඇත; මා සුව කළ මැනව.

3 මම මුළුමනින් ම කැළඹී සිටිමි; සමිඳුනි, ඔබ කොපමණ කල් පමා වන සේක් ද?

4 සමිඳුනි, යළි වැඩම කොට මරණින් මා ගළවාගන්න; ඔබ තිර පෙමින් දැන් මා මුදාලන්න.

5 මන්ද, මරණින් පසු ඔබ ගැන සිහිවීමක් නැත්තේ ය; පාතාලයේ ඔබ හට පැසසීමක් නැත්තේ ය.

6 මම සෝදුකින් වෑරී සිටිමි. හැම රැයක ම කඳුළු සැලීමෙන් යහන තෙත් වී ඇත; කඳුළු දහරින් කොට්ටය පෙඟී ඇත;

7 වැලපීමෙන් මාගේ දෙනෙත ඉදිමී ඇත; සතුරන් නිසා මා ඇස් අඳුරු වී ඇත.

8 සියලු පවිටුනි, මා වෙතින් යන්න; මන්ද, සමිඳාණෝ මා විලාප හඬ ඇසූ සේක.

9 සමිඳාණෝ මාගේ යාදිනි ඇසූ සේක; එතුමාණෝ මා යැදුම පිළිගන්න සේක.

10 මාගේ සියලු සතුරෝ පරාජය වී ලජ්ජාවට පැමිණෙත් වා! හදිසියෙන් ම වියවුල් වී ආපසු හැරී යත් වා!

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්