Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 56 - Sinhala New Revised Version 2018


අනතුරේ දී දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය
පිලිස්තිවරුන් ගාත් නම් ස්ථානයේ දී දාවිත් අල්ලාගත් පසු ඔහු ලියූ සෙල් ලිපියකි.

1 දෙවිඳුනි, මට දයා වුව මැනව. මිනිස්සු මා ලුහුබැඳ එන්නෝ ය; දවස පුරා ඔව්හු මට පීඩා කරන්නෝ ය.

2 සතුරෝ දවස පුරා මා ලුහුබැඳ එන්නෝ ය. මට එරෙහි ව කොපමණ අය සටන් කරන්නෝ ද?

3 අතිඋතුම් දෙවිඳුනි, යම් දිනෙක මම බිය වන්නෙම් ද? එදින මම ඔබ තුළ විශ්වාසය තබන්නෙමි.

4 මම දෙවිඳුන්ගේ වචනය පසසන්නෙමි; මම නොබිය ව, එතුමාණෝ තුළ විශ්වාසය තබන්නෙමි. සතුරන් විසින් මට කරනු ලැබිය හැකි දෙයක් ඇද් ද?

5 ඔව්හු දවස පුරා මට ගරහන්නෝ ය; ඔවුන්ගේ එක ම අදහස මට නපුරක් කිරීම වන්නේ ය.

6 ඔව්හු කුමන්ත්‍රණය කරමින් සැඟවී සිට, මා යන එන විට බලා සිටින්නෝ ය; මා වැනසීමට නිරතුරු බලා සිටින්නෝ ය.

7 ඔවුන්ගේ අපරාධයට විපාක දුන මැනව; අහෝ දෙවිඳුනි! උදහස් වී ඔබ ඒ ජනයා පරාජය කළ මැනව.

8 මාගේ කන්නලව්ව ඔබ ම සටහන් කළ මැනව; ඔබේ බඳුනෙහි මාගේ කඳුළු එකතු කළ මැනව; ඒවා ඔබේ පොතේ සටහන් වී නැද් ද?

9 මා ඔබ අයැදින දවසෙහි මාගේ සතුරෝ පසු බැස යන්නෝ ය. දෙවිඳුන් මට පක්ෂ බව එවිට මම දැනගන්නෙමි.

10 මම දෙවිඳුන්ගේ වචනය පසසන්නෙමි; දෙවිඳුන්ගේ වචනය ගැන උදන් අනන්නෙමි.

11 දෙවිඳුන් කෙරෙහි නොබිය ව මාගේ විශ්වාසය තබන්නෙමි; මිනිසා මට කුමන අනතුරක් කිරීමට සමත් වන්නේ ද?

12 දෙවිඳුනි, ඔබට පොරොන්දු වූ බාරහාර මම ඉටු කරන්නෙමි; ඔබට තුති පූජා පුදන්නෙමි.

13 මන්ද, ඔබ, මා මරණින් මිදූ සේක. මාගේ පාද පැකිළීමෙන් වැළැක්වූ සේක. එසේ කෙළේ, ජීවනාලෝකයෙහි දෙවිඳුන් අබියස මා හැසිරෙන පිණිස ය.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්