ගීතාවලිය 52 - Sinhala New Revised Version 2018දුෂ්ටකමේ දුර්විපාක දාවිත්ගේ සංගීතයකි. ඒදොමිය ජාතික දොවෙග් නමැත්තා පැමිණ, “දාවිත් අබිමෙලෙක්ගේ ගෙදරට ඇතුළු වී ය”යි සාවුල්ට දැන් වූ පසු දාවිත් විසින් ලියන ලද්දකි. 1 එම්බා බලවන්තය! ඔබේ දුෂ්ටකම ගැන පාරට්ටු කරගන්නේ මන් ද? දෙවියන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය. 2 දවස පුරා නිතර ම දුෂ්ට සිතුවිලි සිතන්නේ මන් ද? ඔබේ දිව මුවහත් දැළි පිහියක් බඳු ය; ඔබ කපටිකමට රුසියෙක් වන්නෙහි ය. 3 යහපතට වඩා අයහපතට ඔබ ආලය කරන්නෙහි ය. ඇත්තට වඩා බොරුවට ඔබ ප්රිය වන්නෙහි ය. 4 එම්බා කපටි දිව! විනාශකාරී සෑම වචනයකට ම ඔබ ප්රිය වන්නෙහි ය. 5 දෙවිඳාණෝ ඔබ සදහට ම නසා, වනසාදමන සේක; එතුමාණෝ ඔබ කූඩාරම්වලින් ඇද දමා, ජීවතුන් අතරෙන් ඔබ උදුරාදමන සේක. 6 එවිට දැහැමියෝ බියෙන් මේ දේ නරඹන්නෝ ය; ඔහුගේ විපත ගැන සිනාසෙමින් මෙසේ පවසන්නෝ ය: 7 “දෙවි තුමන් සරණ කොට නොගන්න මිනිසා මොහු ය; තම සම්පත කෙරෙහි විශ්වාසය තබමින් දුෂ්ටකම සරණ කොටගත් තැනැත්තා මොහු ය.” 8 මම වනාහි දෙව් විමනෙහි සරුසාර ඔලීව ගසක් මෙන් වන්නෙමි. දෙව් පෙම තුළ සදහට ම විශ්වාසය තබන්නෙමි. 9 ඔබ එසේ කළ බැවින් මම සදහට ම ඔබ පසසන්නෙමි. ඔබේ සැදැහැවතුන් අබිමුව ඔබේ නම යහපත් ය. එබැවින් මම එය පතුරා හරින්නෙමි. |