ගීතාවලිය 5 - Sinhala New Revised Version 2018ආරක්ෂාව සඳහා යැදුම දාවිත්ගේ ගීතයකි. 1 සමිඳාණන් වහන්ස, මාගේ සෝ සුසුම් සැලකිල්ලට ගනු මැනව; මාගේ භාවනාව ඇසුව මැනව. 2 රජිඳුනි, මාගේ දෙවිඳුනි, ඔබ සරණ පතා මම එන්නෙමි. කරුණාවෙන් මා යැදුමට සවන් දෙනු මැනව. 3 සමිඳුනි, අලුයම මාගේ යැදුමට සවන් දෙනු මැනව; අරුණ’ලු එන කල පූජා පුද කොට ඔබ එන තුරු බලා සිටින්නෙමි. 4 ඔබ දුෂ්ටකමට ප්රිය කරන දෙවි කෙනෙක් නොවන සේක; ඔබ අබිමුව නපුරට ඉඩ නොතබන සේක. 5 අහංකාර අයට ඔබ අබිමුවෙහි තැනක් නැත්තේ ය. අපරාධකරුවන්ට ඔබ ද්වේෂ කරන සේක. 6 සමිඳාණෝ බොරු තෙපලන දන වනසන සේක; මිනීමරු කපටි අය පිළිකුල් කරන සේක. 7 මම ඔබ විපුල පෙම පෙරදැරි කොට ඔබ නිවෙසට පිවිසෙන්නෙමි; ගරුබිය පාමින් ශුද්ධ මැදුර අබිමුව නමදින්නෙමි. 8 සමිඳුනි, මට සතුරන් බොහෝ සිටින බැවින්, දැහැමි මඟ මා ගෙන ගිය මැනව; ගත යුතු මඟ මට පෙන්නුව මැනව. 9 මා සතුරන් පවසන දේ විශ්වාස කළ නොහැකි ය. ඔවුන්ගේ සිත දැඩි දුෂ්ටකමින් පිරී ඇත්තේ ය. ඔවුන්ගේ උගුර අමු සොහොනක් වැනි ය. ඔව්හු දිවෙන් ඉච්ඡා බස් දොඩන්නෝ ය. 10 දෙවිඳුනි, ඔවුන් නසා වනසා ලුව මැනව; ඔවුන්ගේ කූට උපායවලට ඔවුන් ම අසු කළ මැනව; ඔවුන්ගේ බොහෝ අපරාධ නිසා ඔවුන් දුරින් දුරු කළ මැනව. මන්ද, ඔව්හු ඔබට එරෙහි ව කැරලි ගැසුවෝ ය. 11 ඔබ සරණ යන්නෝ ප්රීතියෙන් පිනා යත් වා! ඔබ ඔවුන් රක්නා බැවින් ඔව්හු විපුල සතුටින් උදම් වෙත් වා! ඔබ නම ප්රිය කරන්නෝ ප්රීති ප්රමෝද වෙත් වා! 12 මන්ද ඔබ දමිටුන්ට ආසිරි දෙන සේක; සමිඳුනි, ඔබ පෙම පලිහක් මෙන් ඔවුන් වට කරන සේක. |