Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 45 - Sinhala New Revised Version 2018


රාජකීය මංගල ගීතයක්
කෝරාගේ පුත්‍රයන්ටයි. අනුශාසනාවක් වන, ප්‍රේමවන්තියන් ගැන සෑදූ ගීතිකාවකි.

1 රජිඳුන් උදෙසා මේ කාව්‍යය රචනා කරමි. එවිට මාගේ සිත විසිතුරු තේමාවකින් පිබිදෙයි. මාගේ දිව දක්ෂ ලේඛකයෙකුගේ පන්හිඳ වැනි ය.

2 රජිඳුනි, ඔබ මෙන් රූපසම්පන්න කෙනෙක් මිනිසුන් අතර තවත් නැත. ඔබ ව්‍යක්ත කථිකයෙකි, දෙවි තුමාණෝ ඔබට සැම දා ආසිරි දුන් සේක.

3 ප්‍රතාපවත් නිරිඳුනි, ඔබේ මඟුල් කඩුව ඉඟටියෙහි බැඳගන්න; ඔබ වික්‍රමාන්විත ය; තේජාන්විත ය.

4 සත්‍යය හා යුක්තිය රක්නා පිණිස මංගල රථයෙන් තේජසින් ජය බිම් බලා වැඩිය මැනව; ඔබේ බාහු බලයෙන් ඔබ උදුල ජය කෙහෙලි නංවනු ඇත.

5 ඔබේ ඊගස් තියුණු ය; ඒවා ඔබේ රුපුන් හදවත් විදගෙන යයි. විජාතීහු පැරදී ඔබ පාමුල වැටෙති.

6 ඔබේ සිහසුන දෙවි සිහසුන මෙන් සදා වැජඹෙනු ඇත. ඔබේ රජයේ ජයකොන්තය සාධාරණකමේ ජයකොන්තයකි.

7 ඔබ යුක්තියට ප්‍රේම කොට, අයුක්තියට ද්වේෂ කරයි. එබැවින් දෙවිඳුන්, ඔබේ දෙවිඳුන්, ඔබ තෝරාගෙන අන් හැමට වඩා ඔබට සව්සිරි දී ඇත.

8 ඔබේ රාජකීය වස්ත්‍රවලින් සඳුන්, කපුරු, කස්තුරි සුවඳ විහිදෙයි. ඇත්දත් මාලිගාවල සංගීතකරුවෝ ඔබ මන පිනවති.

9 ඔබේ කුලකතුන් අතර රජ කුමරියෝ ඇත. ඕපීර්හි රන් අබරණින් සැරසුණු ඔබේ අග රැජින ඔබ සිහසුනේ දකුණු පසින් වැජඹෙන්නී ය.

10 දියණියනි, මා වදනට සවන් දෙන්න; ඒවා සිතට ගන්න. ඔබේ ජාතිය, ඔබේ ගම රට සිතින් අමතක කරන්න.

11 එවිට නිරිඳු ඔබේ රූ සපුවට ප්‍රිය වනු ඇත; ඔහු ඔබේ ස්වාමියා ය, ඔහුට අවනත වන්න.

12 තීර්හි වැසියන් පඬුරු රැගෙන ඔබ වෙත එනු ඇත.

13 මාලිගයෙහි රාජ දියණිය, රාජ තේජසින් වැජඹෙන්නී ය. ඇගේ සළුව රන්කමින් විසිතුරු කොට ඇත.

14 මල්කම් හා ලියකම් කළ සළුවෙන් සැරසී, ඈ රජු වෙත එන්නී ය. ඇගේ යෙහෙළියෝ ද රජු වෙත ගෙනෙනු ලබන්නෝ ය.

15 සිත් සතොසින් ඇලළී ඔව්හු රජ මැදුරට පිවිසෙති.

16 නිරිඳුනි, ඔබේ පිය රජුන් වෙනුවට, ඔබට පුත් කුමරුවෝ රැසක් ඇති වන්නෝ ය. ඔබ ඔවුන් මුළු පොළොවෙහි මහීපාලයන් කරන්නෙහි ය.

17 මම ඔබේ යසස, සියලු පරපුරට සිහි කරවන්නෙමි. සව් සත සදා ඔබට පසස් ගී ගයන්නෝ ය.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්