ගීතාවලිය 41 - Sinhala New Revised Version 2018රෝගියෙකුගේ අයැදුම දාවිත්ගේ ගීතයකි. 1 දිළින්දා සලකන්නා ආසිරි ලද්දේ ය. ඔහුගේ විපතින් සමිඳාණෝ ඔහු මුදන සේක. 2 සමිඳාණෝ ඔහු රක්නා සේක; ඔහුට රැකවරණය දෙන සේක; මිහි මත ඔහුට ආසිරි දෙන සේක; සමිඳාණෝ සතුරන් අතට ඔහු පාවා නොදෙන සේක. 3 ලෙඩ ඇඳේ සිටින විට සමිඳාණෝ ඔහුට පිහිට වන සේක; රෝගාතුර ව සිටින විට සුවය දෙන සේක. 4 “සමිඳුනි, මට කරුණා කළ මැනව; ඔබට විරුද්ධ ව පව් කෙළෙමි, මෙමා සුව කළ මැනව”යි මම පවසමි. 5 “ඔය මිනිසා කවදා මැරේ ද? කවදා ඔහුගේ නාමය මැකී යන්නේ දැ”යි මාගේ සතුරෝ මා ගැන අවලාද කියති. 6 මා බලන්න එන අය අවංක නැත. ඔවුහු මා ගැන කිව හැකි නපුරු දේ රැස් කරගනිති; පිටත ගොස් හැම තැන ම ඒවා පළ කරති. 7 මට වෛර කරන්නෝ මට විරුද්ධ ව රහස් කියති; මා වැනසීමට රහසින් උපා යොදති. 8 “අසාධ්‍ය ලෙඩක් ඔහුට වැළඳී ඇත. කවදාවත් ඇඳෙන් නොබසිනු ඇතැ”යි ඔවුහු පවසති. 9 මාගේ හොඳ ම විශ්වාසය දිනාගත් යහළුවා, එක පිඟානෙන් බත් කෑ කල්‍යාණ මිත්‍රයා පවා මට එරෙහි ව සතුරුකම් කෙළේ ය. 10 මාගේ සතුරන්ට යස පාඩමක් උගන්වන පිණිස සමිඳුනි, මට කරුණා කළ මැනව; ලෙඩ ඇඳෙන් මා නැඟිටෙවුව මැනව. 11 ඔවුන්ට ජය අත් නොවන විට ඔබ මා කෙරෙහි ප්‍රිය බව මම දනිමි. 12 මා හරි දේ ඉටු කරන බැවින් ඔබ මට පිහිට වන සේක; සදහට ම ඔබ අබිමුව මා තබාගන්න සේක. 13 ඉශ්රායෙල් ජනතාවගේ දෙවි සමිඳුන් හට ප්‍රශංසා වේ වා! සදාකාලයෙන් සදාකාලයට ම ප්‍රශංසා වේ වා! ආමෙන්, ආමෙන්. |