ගීතාවලිය 40 - Sinhala New Revised Version 2018තුති පැසසුම් ගීතයක් දාවිත්ගේ ගීතයකි. 1 මම ඉවසිල්ලෙන් හිමිතුමාණන් ගැන බලාපොරොත්තුවෙන් සිටියෙමි, හිමිතුමාණෝ මාගේ දුක් ගැනවිලිවලට සවන් දුන් සේක. 2 හිමිතුමාණෝ මා බියකරු වළකින්, මඩ වළකින් ගොඩට ගෙන, පර්වතයක් මත පිහිටුවා, මා සුරක්ෂිත කළ සේක. 3 දෙවිඳුන් හට තුති පවසන, නව ගීයක් මා මුවේ තැබූ සේක. මෙය දැක බොහෝ දෙනෙකු ගරුබියෙන් ඇලළී, සමිඳුන් කෙරේ අදහනු ඇත. 4 පිළිම රූප නොනමදින, බොරු දෙවිවරුන් නොඅදහන, සමිඳුන් කෙරෙහි අදහන තැනැත්තේ ආසිරි ලද්දෙකි. 5 දෙවි සමිඳුනි, ඔබ අප උදෙසා කර ඇති හාස්කම් කොපමණ ද? ඔබ අප උදෙසා අදහස් කළ දේ කොපමණ ද? ඔබට සම අන් කෙනෙක් සිටී ද? ඒ සියල්ල පවසා නිම කරන්නට කිසි දා මට බැරි ය. ඒවායේ ගණන ඉමහත් ය. 6 ඔබ පුද පඬුරට ප්‍රසන්න නැත; දවන යාග පූජා හා පාප පූජාවලින් ඔබට වැඩක් නැත. ඒ වෙනුවට ඔබ වදන් අසන පිණිස මාගේ දෙසවන දුන් සේක. 7 එවිට මම, “මෙන්න, මම මෙහි ය”යි කීවෙමි. “මා පිළිබඳ අණපනත් ඔබේ ව්‍යවස්ථාවලියෙහි ලියා ඇත. 8 මාගේ දෙවියෙනි, ඔබේ කැමැත්තට ප්‍රිය වෙමි, ඔබේ නීති මසිතෙහි නිදන් කරගතිමි.” 9 සමිඳුනි, ඔබට වඳින පිරිස් මැද, ඔබේ ගැළවීමේ ක්‍රියා වර්ණනා කෙළෙමි. නොනවත්වා එය තවත් වර්ණනා කරන බව ඔබ දන්න සේක. 10 ඔබ දෙන ගැළවීම සිතෙහි රඳවා නිකම් නොසිටියෙමි; ඔබේ ගැළවීම හා විශ්වාසවන්තකම ප්‍රකාශ කෙළෙමි; මහ පිරිස් මැද ඔබේ කරුණාව ද විශ්වාසවන්තකම ද නොවළහා දන්වා සිටියෙමි. 11 සමිඳුනි, ඔබේ දයානුකම්පාව මා කෙරෙන් නොවැළැක්වුව මැනව. ඔබේ කරුණාව හා විශ්වාසවන්තකම නිරතුරු මා රකීවා. පිහිට පතා යැදීම ( ගීතා 70 ) 12 මම දහස් ගණන් උවදුරින් වට වී සිටිමි. හිස එසවීමට බැරි තරම් මාගේ පව් මා පිට පැමිණ ඇත. ඒවා මාගේ හිසකේවලට වඩා වැඩි ය. මාගේ සිතට දිරියක් නැත. 13 සමිඳුනි, මා මුදාගත මැනව. අහෝ සමිඳුනි, මට සහාය වීමට කඩිනම් කළ මැනව. 14 මා නැසීමට සොයන්නෝ ලජ්ජා වී, වියවුල් වෙත්වා. මාගේ විනාශයට ආශා වූවෝ පසු බැස අපකීර්තියට පැමිණෙත් වා! 15 හහා! හහා! කියමින් මට සමච්චල් කරන්නෝ මෙවන් නින්දාව නිසා පසු බසිත් වා! 16 ඔබ සොයා එන්නෝ ප්‍රීති ප්‍රමෝද වී සතුටු වෙත් වා! ඔබේ විමුක්තියට ප්‍රේම කරන්නෝ “හිමි තුමෝ ශ්‍රේෂ්ඨ ය”යි නිරතුරු කියත් වා! 17 මම දුගියෙක්මි, දිළිඳෙක්මි, එහෙත්, හිමිතුමාණෝ මා සිහි කරන සේක. ඔබ මාගේ පිළිසරණ ය; ඔබ මාගේ මිදුම්කරු ය. මාගේ දෙවියෙනි, පමා නොවී වැඩිය මැනව. |