Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 39 - Sinhala New Revised Version 2018


කෙටි ජීවිතය ගැන භාවනාව
දාවිත්ගේ ගීතයකි.

1 මම මෙසේ පැවසීමි: “වචනයෙන් පව් නොකරන පිණිස හැසිරීම ගැන ප්‍රවේසම් වෙමි; දුදනන් මා අබිමුව සිටිය දී කට රැකගනිමි.”

2 මම වචනයක් වත් නොකීමි; හොඳ දෙයක් කීමෙන් පවා වැළකුණෙමි. එහෙත්, මාගේ ශෝකය තවත් උග්‍ර විය;

3 මාගේ සිත කාංසාවෙන් දෙදරා ගියේ ය; සිතන්න සිතන්න, වැඩි වැඩියෙන් මම කැළඹුණෙමි. තවත් නිහඬ ව සිටීමට බැරි විට, මෙසේ ප්‍රශ්න නොකිරීමට මට බැරි විය:

4 “සමිඳාණන් වහන්ස, මාගේ අවසානය කවදා එයි ද? මාගේ ආයු ප්‍රමාණය කොතරම් ද? මා කොතරම් බෙලහීන දැ යි දැනගැනීමට මට සැලසුව මැනව.”

5 අනේ, ඔබ මාගේ වයස කෙටි කර තිබෙන හැටි! ඔබ අබිමුව මාගේ ජීවිතයෙන් වැඩක් ඇද් ද? දිවි ඇති හැම දෙන සුළං රොදක් වැනි ය.

6 හැම මිනිසා ම සෙවණැල්ලක් වැනි ය; ඔහු කොයි දේ කළත් එය නිෂ්ඵල ය. ඔහු වස්තු රැස් කරතත්, ඒවා කාට හිමි වේ දැ යි නොදනියි.

7 සමිඳුනි, මට කවර බලාපොරොත්තුවක් ඇද් ද? මාගේ බලාපොරොත්තුව ඔබ කෙරෙහි ය.

8 මාගේ සියලු පවින් මා මිදුව මැනව. අනුවණයෝ මට සමච්චල් නොකරත් වා.

9 ඔබ මට මෙසේ දුක් දුන් නිසා මම නිහඬ වීමි; කට පියාගෙන සිටියෙමි.

10 ඔබ මට තවත් දඬුවම් නොකළ මැනව. ඔබ දුන් පහරවලින් මා මැරෙන්න ආසන්න ය.

11 ඔබේ තරවටුවෙන් ඔබ මිනිස් පවට දඬුවම් දෙන සේක; කාවෙකු කා දමන සේ ඔබ ඔහු රිසි දෙය වනසා ලන සේක. මිනිසා නම්, සුළං රොදක් පමණ ය.

12 සමිඳුනි, මාගේ අයැදුම ඇසුව මැනව; මාගේ මොරගෑමට සවන් දුන මැනව; මාගේ කඳුළු දැක නිහඬ ව නොසිටිය මැනව. මන්ද, ඔබ සමඟ ආගන්තුකයෙක් ද මාගේ පියවරුන් මෙන් කලක් නේවාසිකයෙක් ද වෙමි.

13 මා මෙලොවින් චුත වී, නැති වී යන්නට පෙර, මඳ කලකට ප්‍රීති වන පිණිස මට ඉඩ සැලසුව මැනව.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්