Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 37 - Sinhala New Revised Version 2018


තලතුනා කෙනෙකුගේ අවවාද
දාවිත්ගේ ගීතයකි.

1 නපුර කරන අය ගැන නොකලකිරෙන්න; අදමිටුකම් කරන අයට ඊර්ෂ්‍යා නොකරන්න.

2 ඔව්හු තණ පත් මෙන් වියළී යති; නිල් පලා මෙන් මැලවී යති.

3 සමිඳාණන් වහන්සේ කෙරේ විශ්වාසය තබා යහපත කරන්න; දේශයෙහි සුව සේ වෙසෙන්න.

4 සමිඳුන් කෙරේ ප්‍රීතිමත් වන්න; එතුමාණෝ ඔබේ මන දොළ ඉටු කරනු ඇත.

5 ඔබේ ගමන් මඟ හිමිතුමාණන්ට භාර දෙන්න; එතුමාණෝ කෙරේ විශ්වාසය තබන්න; හිමිතුමාණන් හැම දෙය ඉටු කර දෙනු ඇත.

6 හිමිතුමාණන් ඔබේ යහපත්කම ඉර එළිය මෙන් ද ඔබේ දැහැමිකම මද්දහන මෙන් ද බබළවන සේක.

7 සමිඳුන් කෙරේ රඳා, ඉවසිල්ලෙන් එතුමාණන්ගේ පැමිණීම බලා ඉන්න; සිය ජීවිතයෙහි දියුණු වන්නා ගැන වත්, වැරදි දේ කොට ජයගන්නා ගැන වත් ඊර්ෂ්‍යා නොකරන්න.

8 කෝපයෙන් වැළකෙන්න; උදහසින් ඈත් වන්න; නොකලකිරෙන්න; මේවායින් ඇති වන්නේ නපුර පමණ ය.

9 නපුර කරන්නෝ නෙරපා දමනු ලබන්නෝ ය. හිමිතුමාණන් කෙරේ විශ්වාසය තබන්නෝ දේශය හිමි කරගන්නෝ ය.

10 දුදනා මඳ කලකින් නැති වී යයි; ඔබ ඔහු සෙව්වත් ඔහු නැත.

11 මුදු මොළොක් සිත් ඇත්තෝ දේශය හිමි කරගනිති; ඔව්හු සව්සිරි වින්දනය කරති.

12 දුදනා සුදනාට එරෙහි ව උපා යොදයි; ඔහුට විරුද්ධ ව දත්මිටි කයි.

13 සමිඳාණෝ ඔහු ගැන සිනාසෙන සේක; ඔහුගේ අවසානය ළඟ බව දන්න සේක.

14 දුගී දුප්පතුන් හෙළා දමන පිණිස ද අවංක අය වනසන පිණිස ද දුදනෝ කඩුව ඇද, දුන්න තැත් කවාගෙන සිටිති.

15 එහෙත්, ඔවුන්ගේ කඩුපත ඔවුන්ගේ ම හදවත තුවාළ කරයි; ඔවුන්ගේ දුන්න බිඳ දමනු ලැබේ.

16 දුදනන් සතු වස්තු රැසකට වඩා සුදනා සතු වස්තු බිඳක් යහපත.

17 දුදනන්ගේ බාහු බලය බිඳ දමනු ඇත. එහෙත් හිමිතුමාණන් සුදනන් හට පිහිට වනු ඇත.

18 හිමිතුමාණෝ සැදැහැවතුන් දිනෙන් දින රැකගනිති; ඔවුන්ගේ උරුමය සදහට ම පවතියි.

19 විපත් සමයේ දී ඔවුන්ට විපතක් නැත; සාගත සමයේ දී ඔවුන්ට හිඟයක් නැත.

20 එහෙත්, දුදනෝ වැනසෙති; හිමිතුමාණන්ගේ සතුරෝ වන මල් මෙන් මිය යති; දුම මෙන් පහවෙති.

21 දුදනෝ ණය ගෙන යළි නොගෙවති; සුදනෝ කාරුණික ය, ත්‍යාගශීලී ය.

22 හිමිතුමාණන්ගෙන් ආසිරි ලද්දෝ දේශයෙහි යෙහෙන් වැජඹෙති; දේව සාපය ලද්දෝ රටෙන් නෙරපනු ලබති.

23 සමිඳාණෝ මිනිසෙකුගේ දිවි මඟ හසුරුවන සේක; ඔහුගේ ක්‍රියා කලාපය ගැන සතුටු වන සේක.

24 ඔහු වැටුණත් වැටී ම නොසිටියි; සමිඳාණෝ සිය’තින් ඔහු නැඟුටුවන සේක.

25 මම දැන් යොවුන් විය ගෙවා මහලු ව සිටිමි; සමිඳුන් සුදනෙකු අත්හළ බව වත්, ඔහුගේ දූදරුවන් සිඟමනේ ගිය බව වත් කිසි දා නුදුටිමි.

26 දවස දෙවේලේ ඔහු නොමසුරු ව ණයට දෙයි; ඔහුගේ දරු පරපුර රටට ආසිරියකි.

27 නපුර දුරු කොට යහපත කරන්න. තිර කල් යෙහෙන් වැජඹෙනු ඇත.

28 හිමිතුමාණෝ යුක්තියට ප්‍රිය මනාප ය; සිය සැදැහැවතුන් අත් නොහරිති. ඔව්හු සදහට ම රැකවරණය ලබති. එහෙත්, දුදනන්ගේ පරපුර වැනසෙති.

29 දැහැමියෝ දේශය හිමි කරගන්නෝ ය. එහි සදහට ම යෙහෙන් වසන්නෝ ය.

30 දැහැමියන්ගේ මුවින් නැණ නුවණ නික්මෙයි; ඔව්හු යුක්ති සහගත දෙය ම පවසති.

31 ඔව්හු දේව අණසක හදවතෙහි නිදන් කරති; ඒවා නොපිරිහෙළා රැකගනිති.

32 දුදනා සුදනාගේ වගතුග සොයා, බලා හිඳ, ඔහු මැරීමට සොයයි.

33 එහෙත්, සමිඳාණෝ දුදනාගේ අතට ඔහු අත් නාරින සේක; ඔහු උසාවියට ගෙන ගියත්, වරදට පත් නොකරන සේක.

34 සමිඳුන් කෙරේ බලාපොරොත්තුව රඳවා, එතුමාණන්ගේ අණපනත් රක්ෂා කරන්න; දේශය ඔබට හිමි වන පිණිස එතුමාණෝ ඔබ උසස් කරනු ඇත; දුදනන් වැනසෙන හැටි ඔබේ ඇසින් ඔබ දකිනු ඇත.

35 දුෂ්ටයා දැඩි කුරිරු නායකයෙකු වී, ලෙබනොන්හි දේවදාර රුකක් මෙන් සශ්‍රීක ව වැඩෙනු බලා සිටියෙමි.

36 එහෙත්, කලකට පසු මම ඔහු වෙත ගියෙමි; ඔහු සිටියේ නැත. ඔහු සෙවීමි; එහෙත්, සම්බ වූයේ නැත.

37 නිදොස් තැනැත්තෙකු සොයන්න; අවංක කෙනෙකු දෙස බලන්න; ඔහුට නම්, සාමකාමී අනාගතයක් ඇත.

38 අපරාධකරුවෝ එක ගොඩේ විනාශ කරනු ලබති; දුදනන්ගේ පරපුර වැනසී නිම වෙයි.

39 හිමිතුමාණෝ දැහැමියන් ගළවන සේක. විපතේ දී ඔවුන්ට බලකොටුවක් වන සේක.

40 හිමිතුමාණෝ ඔවුන්ට පිහිට වී ඔවුන් මුදන සේක. සිය සරණ සොයා එන ඔවුන් එතුමාණෝ දුදනන්ගෙන් මුදා ලන සේක.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්