Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 31 - Sinhala New Revised Version 2018


දේවාරක්ෂාවට භාර වීම
දාවිත්ගේ ගීතයකි.

1 සමිඳාණන් වහන්ස, ඔබේ රැකවරණය සොයා එමි. කිසිදාක මම නින්දාවට පත් නොවෙම්වා. ඔබේ දැහැමිකමින් මා මුදාලුව මැනව.

2 මා දෙස ඔබේ දෙසවන යොමා, නොපමා ව මා මිදුව මැනව, මට බලගතු විමුක්ති පර්වතයක් ද ආරක්ෂක බලකොටුවක් ද වුව මැනව.

3 ඔබ මාගේ පර්වතය හා බලකොටුව ය. එබැවින් ඔබේ නාමයේ අනුහසින් මට මඟපෙන්වා මා ගෙන ගිය මැනව.

4 මා ඇල්ලීමට ඔවුන් සඟවා ඇති දැලෙන් මා බේරාගත මැනව. ඔබ මාගේ රක්ෂස්ථානය ය.

5 ඔබ අතට මාගේ ජීවිතය භාර කරමි. සත්‍යවාදී දෙවි සමිඳුනි, ඔබ මා මිදූ සේක.

6 බොරු දෙවි දේවතාවන් නමදින අයට මම ද්වේෂ කරමි. එහෙත්, මම සමිඳුන් කෙරේ විශ්වාසය තබමි.

7 ඔබේ කරුණාව ගැන සතුටු වී උදන් අනමි. ඔබ මාගේ දුක් පීඩා දුටු සේක; ඔබ මාගේ සිත් වේදනා තේරුම් ගත් සේක.

8 සතුරා අතේ මා සිර කොට නොතබා, නිදහසේ යන්න එන්න ඔබ මට ඉඩ දුන් සේක.

9 සමිඳුනි, මට කරුණා කළ මැනව. මම දුකින් මිරිකී සිටිමි. මාගේ දෑස ද ගතසිත ද සෝදුකින් වෑරී ඇත.

10 මාගේ ජීවිතය දුකින් ගත වෙයි; මා කල දවස සුසුම්ලෑමෙන් ගෙවී යයි; මාගේ ශක්තිය කනස්සල්ලෙන් පිරිහෙයි; මාගේ ඇට මිදුළු ක්ෂය වී යයි.

11 මාගේ එදිරිකරුවන් නිසා මම අසල්වැසියන් අතර නව නින්දාවක් වී සිටිමි; මා දන්නා අඳුනන අයට මම භීතියක් වී සිටිමි; වීදියේ මා දක්නා අය මා වෙතින් පලා යන්නෝ ය.

12 මා මතකයෙන් ඉවත ගිය, මියගිය කෙනෙකු මෙන් අමතක වී ඇත; බිඳුණු බඳුනක් මෙන් ඉවත දා ඇත.

13 බොහෝ දෙනෙකුගේ කෙලෙසුම් බස් මට ඇසේ; මා අවට භීතිය ඇත. මිනිස්සු මට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට මාගේ දිවි නසාලීමට උපා යොදති.

14 එහෙත් සමිඳුනි, මා විශ්වාසය තැබුවේ ඔබ කෙරෙහි ම ය. “මාගේ දෙවියෝ ඔබ ය”යි කියමි.

15 මාගේ ජීවිත ගමන ඔබ අතෙහි ය, මාගේ සතුරන් හා මට පීඩා කරන්නවුන් අතින් මා මුදා හැරිය මැනව.

16 ඔබ මෙහෙකරු වන මා දෙස කරුණාවෙන් බැලුව මැනව; ඔබේ තිර පෙමින් මා ගැළෙවුව මැනව.

17 මම ඔබට හඬගසමි; මම නින්දාවට පත් නොවෙම් වා! දුදනෝ නින්දාවට පත් වෙත් වා! ඔව්හු නිහඬ ව පාතාලයට යත් වා!

18 අභිමානයෙන් හා උඩඟුකමින් සුදනන් හෙළාදක්නා, බොරු කියන දිව නිහඬ කළ මැනව.

19 දේව ගරුබිය ඇත්තන් උදෙසා තබා ඇති ඔබේ ගුණවත්කම කොතරම් ද? ඔබ කෙරේ විශ්වාසය තැබූ අය වෙත එය කොතරම් මහත් ලෙස පෙනේ ද?

20 මිනිසුන්ගේ කුමන්ත්‍රණවලින් ඔබ ආරක්ෂාවෙහි ඔබ ඔවුන් සඟවන සේක; කලහකාරි අයගෙන් ඔවුන් වෙන් කොට ඔබේ මැදුරෙහි සුරැකි ව තබන සේක.

21 සමිඳුන් හට ප්‍රශංසා වේ වා! මන්ද, එතුමාණෝ බලකොටු නුවරක දී එතරම් පුදුම ලෙස මට කරුණාව දැක්වූ සේක.

22 “ඔබ වෙතින් මා ඉවත දැමූ සේකැ”යි මාගේ ඉක්මන්කාරකමින් කීවෙමි. එහෙත්, මා ඔබේ පිහිට සෙවූ කල මාගේ කන්නලව්වට ඔබ සවන් දුන් සේක.

23 සමිඳුන්ගේ සියලු සැදැහැවතුනි, එතුමාණන්ට ප්‍රේම කරන්න; හිමිතුමාණෝ සැදැහැවතුන් රක්නා සේක; උඩඟුකම් කරන්නවුන්ට විපුල ප්‍රතිවිපාක දෙන සේක.

24 සමිඳුන් කෙරේ විශ්වාසය තබන සියල්ලෙනි, ශක්තිමත් වන්න; සිතින් ධෛර්යවත් වන්න.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්