Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 3 - Sinhala New Revised Version 2018


පිහිට පතා අලුයම යැදුම
දාවිත්ගේ ගීතයකි.

1 සමිඳාණන් වහන්ස, මට සතුරෝ ගණනින් බොහෝ වන්නෝ ය; මට විරුද්ධ වන්නෝ එන්න එන්න වැඩි වන්නෝ ය.

2 “දෙවි පිහිටක් ඔහුට නැතැ”යි මා ගැන කියන්නෝ වැඩි වැඩියෙන් නැඟී එන්නෝ ය.

3 සමිඳුනි, එහෙත් ඔබ මා අවට පලිහක් වැන්න. මා මහිමය ඔබ ය; ඔබ මා දිරි ගන්වන සේක.

4 මම සමිඳුන්ට හඬ නඟා මොරගසමි; එතුමාණෝ සිය ශුද්ධ කන්දේ සිට මට පිළිතුරු දෙන සේක.

5 මම වැදහෙව නිදාගනිමි; යළි අවදි වෙමි. මන්ද, සමිඳාණෝ මට රැකවරණය දෙන සේක.

6 දස දහසක් සතුරන් සිටියත් මා වට කොට, බිය සැක කිසිත් මාගේ සිතට නැත්තේ ය.

7 සමිඳුනි, වැඩිය මැනව; දෙවිඳුනි, මා මුදාලුව මැනව. මන්ද, ඔබ සතුරන්ගේ බල සිඳලන සේක; දුදනන්ගේ දළ බිඳලන සේක.

8 ජය සිරි එන්නේ සමිඳුන්ගෙන් ය. ආසිරි ඔබ සෙනඟ කෙරෙහි වේ වා!

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්