ගීතාවලිය 29 - Sinhala New Revised Version 2018මාරුත මැදින් දේව හඬ දාවිත්ගේ ගීතයකි. 1 දිව්‍ය පුත්‍රයෙනි, සමිඳාණන් වහන්සේට පැසසුම් දෙන්න; එතුමාණෝ තෙද බල පසසන්න. 2 හිමිතුමාණන් නමට දිය යුතු මහිමය දෙන්න; පාරිශුද්ධත්වයෙන් සැරසී එතුමාණෝ නමදින්න. 3 සමිඳාණන්ගේ හඬ ජල මතුයෙහි ඇසේ. ජල මතුයෙහි වැඩ වසන මහිමාන්විත හිමි සමිඳාණෝ ගර්ජනා කරන සේක. 4 සමිඳාණන්ගේ හඬ බලවත් ය; සමිඳාණන්ගේ හඬ තේජාන්විත ය. 5 සමිඳාණන්ගේ හඬ කිහිරි ගස් බිඳලයි; ලෙබනොනේ කිහිරි රුක් සුණු විසුණු කරයි. 6 ලෙබනොන්හි කඳු වැටි උඩ පනින වහු පැටවුන් මෙන් ද හර්මොන් කන්ද දුව පනින ගොන් වස්සකු මෙන් ද නටන්න සලස්වන සේක. 7 සමිඳුන්ගේ කටහඬ ගිනි දලු බෙදාලයි; 8 සමිඳුන්ගේ කටහඬ වන ගැබ සොලවයි; හිමිතුමාණෝ කාදෙෂ් වන ගැබ සොලවති. 9 සමිඳුන්ගේ කටහඬ මුව දෙනුන්ට පැටවුන් බිහි කරවයි, වනය පාළු කරවයි, එතුමාණන්ගේ මාලිගාවෙහි සැම දෙය ම, “ඔබට මහිමය වේවා”යි කියයි. 10 සමිඳාණෝ ජල කඳ මත රාජ තේජසින් වැඩ හිඳින සේක; රාජ ලීලාවෙන් සදහට ම වැඩ හිඳින සේක. 11 සමිඳාණෝ සිය සෙනඟට ශක්තිය දෙන සේක; සිය සෙනඟට සාමදානයෙන් ආසිරි දෙන සේක. |