ගීතාවලිය 27 - Sinhala New Revised Version 2018විශ්වාසය හා ධෛර්යය දාවිත්ගේ ගීතයකි. 1 සමිඳාණන් වහන්සේ මාගේ ආලෝකය හා විමුක්තිය ය; මම කිසිවෙකුට බිය නොවෙමි. හිමිතුමාණෝ මාගේ ජීව ශක්තිය ය; මට භීතියක් නැත. 2 දුදනන් වන මාගේ විරුද්ධකාරයෝ සහ සතුරෝ මා කා දමන පිණිස ආ කල ඔව්හු පැකිළී වැටුණෝ ය. 3 බළ ඇණියක් මට විරුද්ධ ව කඳවුරු බැන්දත්, මසිතට බියක් නැත. මට විරුද්ධ ව යුද ගිනි ඇවිළුණත්, මම සුරක්ෂිත ව සිටිමි. 4 හිමිතුමාණන්ගෙන් එක ම යැදුමක් යදිමි; එය තරයේ සොයන්නෙමි. එනම්, හිමිතුමාණන්ගේ ශෝභාලංකාරය නරඹන පිණිසත්, දේව මාලිගාවේ දී උදය භාවනා කරන පිණිසත් මා දිවි ඇති තාක් හැම දා සමිඳුන්ගේ මන්දිරයේ විසීමට ය. 5 විපත් දවසේ දී එතුමාණෝ සිය භවනෙහි මා තබා රක්නා සේක; සිය මණ්ඩපයෙහි රහස් කාමරයක මා සඟවන සේක. එතුමාණෝ මා ඔසවා පව්වක් මත මා තබන සේක. 6 දැනුදු මා සිසාරා සිටින මාගේ සතුරන්ට ඉහළින් මාගේ හිස ඔසවමි; එතුමාණන්ගේ මණ්ඩපයෙහි ප්රීති පූජා පුදන්නෙමි; සමිඳාණන්ට ගී ගයා වාදනය කරන්නෙමි. 7 හිමිතුමාණෙනි, මා හඬ නඟා කියන දෙයට සවන් දුන මැනව; මට කරුණා කොට උත්තර දුන මැනව. 8 “මා අබිමුවට එන්නැ”යි ඔබ කියන කල, සමිඳුනි, “ඔබ අබිමුවට එන්නෙමි”යි මාගේ සිතින් කීවෙමි. 9 මා කෙරෙන් ඔබේ මුහුණ සඟවා නොගත මැනව; උදහසින් ඔබ මෙහෙකරුවා බැහැර නොකළ මැනව. ඔබ මාගේ සරණ වන සේක. මාගේ විමුක්තිදායක දෙවියෙනි, මා පහ නොකළ මැනව; මා අත් නොහළ මැනව. 10 මාගේ මවුපිය දෙදෙනා මා අත්හැරියෝ ය; එහෙත්, හිමිතුමාණෝ මා පිළිගන්න සේක. 11 සමිඳුනි, ඔබේ දහම් මඟ මට ඉගැන්නුව මැනව; මාගේ සතුරන් නිසා උවදුරු රහිත මඟක මා ගෙන ගිය මැනව. 12 මාගේ එදිරිකරුවන්ගේ අභිප්රායවලට මා පාවා නුදුන මැනව. බොරු සාක්ෂිකාරයෝ ද කෲර ලෙස තර්ජන කරන්නෝ ද මට විරුද්ධ ව නැඟී සිටිති. 13 “ජීවතුන් අතර සමිඳුන්ගේ යහපත්කම මට දක්නට ලැබේ ය”යි මම විශ්වාස කරමි. 14 සමිඳුන් කෙරේ බලා සිටින්න; ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න; සමිඳුන් කෙරේ බලා සිටින්න. |