ගීතාවලිය 20 - Sinhala New Revised Version 2018රජුගේ විජයශ්‍රීය දාවිත්ගේ ගීතයකි. 1 විපත්ති දවසේ දී හිමිතුමාණෝ ඔබට පිළිතුරු දෙන සේක් වා! ජාකොබ්ගේ දෙවිඳාණෝ ඔබට බලකොටුවක් වන සේක් වා! 2 එතුමාණෝ ශුද්ධස්ථානයෙන් ඔබට පිහිට එවා, සියොන් කන්දේ සිට ඔබ බලවත් කරන සේක් වා! 3 ඔබේ පුද පූජා සියල්ල සිහි කරන සේක් වා! ඔබේ දවන යාග පූජා පිළිගන්න සේක් වා! 4 ඔබේ මන දොළ ඉටු කරන සේක් වා! ඔබේ පැතුම් සාර්ථක කරන සේක් වා! 5 ඔබේ ජය සිරි ගැන අපි තුති පසස් නඟමු; අපේ දෙවිඳුන් නමින් ජය කෙහෙලි නංවමු. සමිඳාණෝ නුඹේ සියලු අයැදුම් ඉටු කරන සේක් වා! 6 හිමි සඳ සිය අබිසෙස් ලත් අය මුදන බව දනිමි. සමිඳාණෝ, සිය සුපිරිසිදු සගලොව සිට සිය දකුණතේ විමුක්ති ශක්තියෙන් ඔහුට පිළිතුරු දෙන සේක. 7 සමහරු යුද රිය කෙරෙහි ද ඔවුන්ගේ අශ්වයන් කෙරෙහි ද විශ්වාසය තබති. එහෙත්, අපි නම් දෙවි සමිඳාණන් කෙරෙහි විශ්වාසය තබමු. 8 ඔව්හු වකුටු වී වැටෙන්නෝ ය. එහෙත්, අපි නැඟිට කෙළින් සිටිමු. 9 සමිඳුනි, රජතුමා මිදුව මැනව; අප යදින විට පිළිතුරු දුන මැනව. |