ගීතාවලිය 17 - Sinhala New Revised Version 2018නිදොස් කෙනෙකුගේ ආයාචනය දාවිත්ගේ යාච්ඤාවකි. 1 සමිඳාණන් වහන්ස, මාගේ මේ සාධාරණ යැදුමට සවන් දුන මැනව; මාගේ හඬගැසීමට කන් දුන මැනව. මන්ද, මා එය පුදන්නේ අවංක සිතිනි. 2 මා ගැන නඩු තීන්දුව ඔබෙන් ම පැමිණේ වා! ඔබේ දෙනෙතට යුක්තිය පෙනේ වා! 3 ඔබ මසිත උරගා බැලූ සේක; රාත්රියේ මා පරීක්ෂා කළ සේක; ඔබ මා විමසා බැලූ සේක; එහෙත්, කිසි නපුරක් නැති බව දුටු සේක. 4 අන් අය මෙන් මම නපුර කතා නොකෙළෙමි. ඔබේ නීති පිළිපැද්දෙමි; සැහැසි ක්රියා මාර්ගයෙන් වැළකී සිටියෙමි. 5 ඔබ පැවසූ දහම් මඟෙහි ගමන් කෙළෙමි. ඉන් ඉවත් ව මා ඉක්ම ගියේ නැත. 6 දෙවිඳුනි, ඔබ මට පිළිතුරු දෙන නිසා මම ඔබට හඬගසමි. මා අයැදුමට කන් යොමු කළ මැනව; මාගේ බස් ඇසුව මැනව. 7 මිදුම්කරුනි, ඔබේ දකුණු අතින් සතුරු බියෙන් අප ගළවනු මැනව; ඔබේ අසිරිමත් පෙම හෙළි කළ මැනව. 8 ඔබේ ම දෙනෙත රක්නා සේ මා රැකගන්න; ඔබ පියාපත් සෙවණෙහි සුරැකි ව මා සඟවන්න. 9 වෙර බැඳ මා අවටින් සිටින සතුරන්ගෙන් ද මා කොල්ලකන දුදනන්ගෙන් ද මා රැකගන්න. 10 මා සතුරන්ට දයාව නැත; ඔව්හු උඩඟුකමින් බස් තෙපලති. 11 මා වටකර සැම දෙසින් බලා සිටිති; මා බිම හෙළීමට මාන බලති. 12 ඔව්හු ගිජු ලෙස ගොදුර බලා යන සිංහයෙකුට සමාන ය; රහසිගත ව රැක සිටින තරුණ සිංහයෙකුට සමාන ය. 13 සමිඳුනි, නැඟිටිනු මැනව; මාගේ සතුරන්ට මූණ දී ඔවුන් පරාජය කළ මැනව; ඔබේ කඩුපත ලෙලවා දුදනන්ගෙන් මා මිදුව මැනව; 14 ඔබේ බලය පා ඔවුන්ගෙන් මා ගැළෙවුව මැනව. දුදනන්ගේ පල විපාක මෙලොව දී ම ඔවුන්ට ලැබෙනු ඇත. ඔවුන්ට නියම කොට ඇති දුක් පීඩාවලින් ඔවුන්ට දඬුවම් කළ මැනව; ඒ දඬුවම ඔවුන්ගේ දරුවන්ට ද ඉතිරි කොටස දරුවන්ගේ දරුවන්ට ද දුන මැනව. 15 මා දමිටු හෙයින් මම ඔබේ මුහුණ දකින්නෙමි; මා අවදි වන කල ඔබේ ස්වරූපය දැක සෑහීමට පත් වන්නෙමි. |