ගීතාවලිය 16 - Sinhala New Revised Version 2018හිමි තුම පරම සැපත ය. දාවිත්ගේ මික්තාම් නම් කාව්‍යයකි. 1 දෙවිඳුනි, මම ඔබ සරණකොට ගතිමි. එබැවින් මා රැකගත මැනව. 2 මම මෙසේ කීමි: “සමිඳුනි, ඔබ මාගේ සමිඳාණන් වහන්සේ ය, මාගේ සව් සම්පත ය. ඔබ හැර අන්කිසි සෙතක් මට නැත්තේ ය.” 3 මිහි මත වසන බැතිමත්හු උතුම් වන්නෝ ය; ඔවුන් පිළිබඳ විපුල සතුටක් මට ඇත්තේ ය. 4 අන් දෙවි පිහිටක් පතා දුවන අයගේ දුක බොහෝ වන්නේ ය. පානීය ලේ පූජා මම ඔවුන්ට නොපුදන්නෙමි; ඔවුන්ගේ නාම මා මුවින් නොපවසන්නෙමි. 5 සමිඳුනි, මාගේ උරුමය හා ඉරණම ඔබ වහන්සේ ය. ඔබ, ඔබ පමණක් ම මා උරුම කොටස රක්නා සේක. 6 මාගේ වතු පිටිවල සීමා රම්‍ය තැන්වල පිහිටා ඇත්තේ ය. මා සතු උරුමය ප්‍රියංකර ය. 7 මට උවදෙස් දෙන හිමිතුමාණන් හට තුති කරන්නෙමි. රෑ යාම්වල දී මා සිත්සතන්හි නුවණ පහළ වන්නේ ය. 8 හිමිතුමාණන් නිරතුරු මා අබියස තබාගන්නෙමි. මා දකුණු පස එතුමාණන් වැඩ වසන බැවින් මම නොසැලෙන්නෙමි. 9 එබැවින් මසිත උදන් අනයි; මහද ප්‍රීතියෙන් පිනා යන්නේ ය; මා ගත සුරැකි ව ඇත්තේ ය. 10 මන්ද, ඔබ මා පාතාලයෙහි නොරඳවන සේක; ඔබේ දැහැමි තැනැත්තාට ජරාපත් වීමට ඉඩ නොදෙන සේක. 11 ඔබ මට ජීවන මඟ හෙළි කරන සේක. ඔබ අබිමුවෙහි පිරිපුන් සතුට මට වන්නේ ය. ඔබ දකුණු පස සැප සම්පත් සදහට ම ඇත්තේ ය. |