ගීතාවලිය 149 - Sinhala New Revised Version 2018ජය මංගල ගීය 1 සමිඳාණන් වහන්සේ පසසන්න. සමිඳුන්ට නව ගීතිකාවක් ද සැදැහැවතුන්ගේ සභාවේ දී එතුමාණන්ගේ පැසසුම් ද ගායනා කරන්න. 2 තමන් මැවූ තැනැන් වහන්සේ කෙරෙහි ඉශ්රායෙල් ප්‍රීති වෙත් වා! තමන්ගේ රජුන් කෙරෙහි සියොන්හි දරුවෝ ප්‍රීතිමත් වෙත් වා! 3 එතුමාණන්ගේ නාමයට රඟපාමින් පැසසුම් කරත් වා! රබන් ගසා, වීණා වයා එතුමාණන්ට පසස් ගී ගයත් වා! 4 සමිඳාණෝ සිය සෙනඟ කෙරෙහි ප්‍රසන්න වන සේක. දීනයන් ජය සිරියෙන් සරසන සේක. 5 සැදැහැවත්තු මහිමයෙන් යුක්ත ව ප්‍රීති වෙත් වා! මුළු රෑ එතුමාණෝ නමදිමින් ප්‍රීතියෙන් ගායනා කරත් වා! 6 දෙමුවහත් කඩුවක් අතට ගනිත් වා! සිය මුවින් සමිඳුන්ට පැසසුම් කරත් වා! 7 එසේ කරන්නේ, ජාතීන් කෙරෙහි පළිගැනීම පිණිස ය; මිනිස් වර්ගයන් කෙරෙහි දඬුවම් පමුණුවන පිණිස ය; 8 ඔවුන්ගේ රජුන් යදමින් ද ඔවුන්ගේ අධිපතීන් විලංගුවලින් ද බඳින පිණිස ය; 9 ලියන ලද විනිශ්චය ඔවුන් කෙරෙහි ඉටු කරනු පිණිස ය; මේ ගෞරවය එතුමාණන්ගේ සියලු සැදැහැවතුන්ට ඇත්තේ ය. සමිඳුන්ට ප්‍රශංසා වේ වා! |