Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 145 - Sinhala New Revised Version 2018


දෙවි රජිඳුන්ට ප්‍රශස්ති ගීතයක්
දාවිත්ගේ ගීතයකි.

1 මා දෙවි රජිඳුනි, ඔබ ගුණ මම ගයමි. ඔබ නම සදාකල් ම පසසමි.

2 සැම දා ඔබට තුති පුදමි; සදාකල් ඔබ නම පසසමි.

3 සමිඳාණෝ උතුම් ය, උසස් ම පැසසුම් ලැබිය යුතු ය. එතුමාණන්ගේ උතුම්කම සොයා දැනගත නොහැකි ය.

4 පරපුරෙන් පරපුරට ජනතාවෝ ඔබේ ක්‍රියා වර්ණනා කරති; ඔබේ ප්‍රබල ක්‍රියා ගැන ප්‍රශංසා කරති.

5 මම ඔබේ රජ සිරි තෙද මහිමයත්, ඔබේ අරුමපුදුම ක්‍රියාත් මෙනෙහි කරන්නෙමි.

6 දනෝ ඔබේ විස්මයජනක ක්‍රියා ගැන කතා කරන්නෝ ය; මම ඔබේ උතුම්කම පවසන්නෙමි.

7 ඔව්හු ඔබේ මහා යහපත්කමේ පුවත ප්‍රකාශ කරති; ඔබේ දැහැමිකම ගැන ගී ගයති.

8 සමිඳාණෝ දයාවන්ත ය. අනුකම්පාවෙන් පූර්ණ ය; වහා නොකිපෙන සුලු ය; තිරසර පෙමින් යුතු ය.

9 සමිඳාණෝ සියල්ලන්ට කරුණාව පාන සේක; එතුමාණන්ගේ සුමුදු දයාව මවන ලද සියල්ල ද වෙත පැතිරෙයි.

10 සමිඳුනි, ඔබ මැවූ සියලු දේ ඔබට තුති පුදයි; ඔබේ සැදැහැවත්තු ද ඔබට ප්‍රශංසා කරති.

11 ඔව්හු ඔබේ රාජ්‍යයේ මහිමය වර්ණනා කරති. ඔබේ බල මහිමය ගැන ද කතා කරති.

12 එසේ කරන්නේ, දෙවිඳුන්ගේ ප්‍රබල ක්‍රියාත්, රාජ්‍යයේ තේජෝ මහිමයත් මිනිසුන් හට දන්වන පිණිස ය.

13 ඔබේ රාජ්‍යය සදාකාලික ය, ඔබේ ආධිපත්‍යය ද සියලු පරම්පරාවල ම පවත්නේ ය. සමිඳාණෝ සියලු පොරොන්දු ඉටු කරන සේක. තමන් කරන සියල්ලේ දී මෙත් සිත් වඩන සේක.

14 වැටෙන දුබලුන් හට සමිඳාණෝ ආධාර කරන සේක. නැමී සිටින සියල්ලන් කෙළින් සිටුවන සේක.

15 සියල්ලන්ගේ දෙනෙත් ඇවිටිල්ලෙන් ඔබ දෙස යොමු කර තිබේ. ඔබ ද සුදුසු කාලයේ දී ඔවුන්ට ආහාර දෙන සේක.

16 ඔබ සිය හස්තය විදහා පාන සේක; ජීවමාන සියල්ලන්ගේ ආසාවන් සපුරාලන සේක.

17 සමිඳාණෝ සැම අතින් ම සාධාරණ ය, එතුමාණන්ගේ සියලු ක්‍රියා දයාන්විත ය.

18 අයැදින සියල්ලන්ට සමිඳාණෝ ළං ව සිටින සේක. අවංක සිතින් යදින්නන්ට ආසන්න ව සිටින සේක.

19 තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ගේ පැතුම් එතුමාණෝ ඉටු කරන සේක. ඔවුන්ගේ මොරගැසීම් අසා ඔවුන් ගළවන සේක.

20 සමිඳාණෝ තමන්ට ප්‍රේම කරන සියල්ලන් ආරක්ෂා කරන සේක. එහෙත්, සියලු දුදනන් වනසාලන සේක.

21 මා මුවින් සමිඳුන්ට පැසසුම් ගී ගයන්නෙමි. සව් සත සදාකල් ම එතුමාණන්ගේ ශුද්ධ නාමයට ප්‍රශංසා කරත් වා!

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්