ගීතාවලිය 144 - Sinhala New Revised Version 2018ජය දෙන සමිඳාණන් වහන්සේට පැසසුම් දාවිත්ගේ ගීතයකි. 1 මාගේ පර්වතය වන සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! එතුමාණෝ යුද්ධයට මාගේ අත් ද සටනට මාගේ ඇඟිලි ද පුහුණු කරන සේක. 2 එතුමාණෝ මට කරුණා නිධානය ය; මාගේ බලකොටුව ය; මාගේ උස් කොටුව හා මාගේ මිදුම්කරු ය; මාගේ පලිහ ය. මා විශ්වාසය තබන තැනැන් වහන්සේ ය. ජාතීන් මට යටත්කර දෙන්නේ එතුමාණෝ ය. 3 සමිඳුනි, ඔබ, මිනිසා ගැන කල්පනා කරන්න තරම් ඔහු කවරෙක් ද? මිනිසා ගැන සලකන්න තරම් ඔහු කවරෙක් ද? 4 මිනිසා සුළං රොදකට සමාන ය; ඔහුගේ කාලය පහ වී යන හෙවණැල්ලක් වැනි ය. 5 සමිඳුනි, ඔබ අහස විවර කොට බැස වැඩිය මැනව. කඳුවලින් දුම් නඟින පිණිස ඒවා ස්පර්ශ කළ මැනව. 6 විදුලිය විහිදුවා රුපුන් විසුරුවා හැරිය මැනව. ඔබේ ඊතල විද ඔවුන් පලවා හැරිය මැනව. 7 සගලොවින් ඔබේ හස්තය දිගු කළ මැනව. මහා ජල ගැල්මෙන් ද විදේශීන්ගේ අතින් ද මා බේරා මුදාගත මැනව. 8 ඔවුන්ගේ මුවින් නික්මෙන්නේ බොරු ය; දිවුරුම් දී ඇතත් කියන්නේ බොරු ම ය. 9 දෙවිඳුනි, ඔබට නව ගීයක් ගයන්නෙමි. තත් දසයේ වීණාව ගෙන ඔබට පසස් ගී ගයන්නෙමි. 10 රජුන්ට ජය දෙන්නේත්, ඔබේ මෙහෙකරු දාවිත් රුදුරු කඩුවෙන් මුදාගන්නේත් ඔබ ය. 11 විදේශීන්ගේ අතින් මා බේරා මුදාගත මැනව. ඔවුන්ගේ මුවින් නික්මෙන්නේ බොරු ය; ඔවුන් දිවුරුම් දී ඇතත් කියන්නේ බොරු ම ය. 12 තරුණ වියේ සිටින අපේ පුත්‍රයෝ වැඩුණු පැළ මෙන් වෙත් වා! අපේ දූවරු මාලිගාවල කැටයම් කරන ලද මනහර කණු මෙන් වෙත් වා! 13 අපේ ගබඩා සියලු ආකාර ධනයෙන් පිරේ වා! අපේ කෙත්වල බැටළුවෝ දහස් ගණන්, දස දහස් ගණන් බිහි කරත් වා! 14 අපේ ගවදෙන්නු ගැබ් ගැනීමට ශක්ති සම්පන්න වෙත් වා! ගබ්සා වීමක් වත්, අකලට ඉපදීමක් වත් නො වේ වා! අපේ වීදිවල විලාප හැඬීම් නො වේ වා! 15 මෙයාකාර ආසිරි ලත් සෙනඟ වාසනාවන්ත ය. සමිඳාණෝ තම දෙවිඳාණෝ යැයි පිළිගත් සෙනඟ වාසනාවන්ත ය. |