Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 143 - Sinhala New Revised Version 2018


බැගෑපත් යැදුමක්
දාවිත්ගේ ගීතයකි.

1 සමිඳාණන් වහන්ස, මාගේ යැදුම ඇසුව මැනව. මාගේ කන්නලව්වට සවන් දුන් මැනව. ඔබේ සත්‍යවාදීකමින් ද ධර්මිෂ්ඨකමින් ද මට පිළිතුරු දුන මැනව.

2 ඔබේ දාසයා විනිශ්චයට ගෙන නොගිය මැනව. ඔබ අබිමුව නිදොස් කෙනෙක් මෙදියත නැත.

3 සතුරා මට පීඩා කෙළේ ය. ඔහු මට පහර දී මා බිම හෙළුවේ ය. ඔහු මා අඳුරු තැනකට දැමුවේ ය. මම බොහෝ කලකට පෙර මළ කෙනෙකු මෙන් වීමි.

4 එබැවින් ම සිත අඩපණ වී ඇත. මාගේ හද තුළ කිසි සැනසුමක් නැත.

5 යටගිය දවස් මම සිහි කරමි; ඔබේ සියලු ක්‍රියා ගැන භාවනා කරමි; ඔබ කළ දේ ගැන මෙනෙහි කරමි.

6 මාගේ දොහොත් මුදුන් දී ඔබෙන් අයැදිමි; මාගේ සිත වියළි බිමක් මෙන් ඔබ කෙරෙහි පිපාසිත වේ.

7 සමිඳුනි, ඉක්මනින් මට පිළිතුරු දුන මැනව. මාගේ සිත අඩපණ වී ඇත. පාතාලයට බසින්නන්ට මා සමාන නොවන පිණිස ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව.

8 උදය කාලයේ ඔබේ කරුණා ගුණය දකින්න මට සැලසුව මැනව. මම ඔබ කෙරෙහි විශ්වාසය තබමි. මා යා යුතු මාර්ගය මට දැක්වුව මැනව. ඔබ දෙස මාගේ සිත ඔසවමි.

9 සමිඳුනි, මාගේ සතුරන්ගෙන් මා ගැළෙව්ව මැනව. රැකවරණය පිණිස මම ඔබ වෙත දුවගෙන එමි.

10 ඔබේ කැමැත්ත කරන්න මට ඉගැන්නුව මැනව. ඔබ මාගේ දෙවිඳාණෝ ය. ඔබ යහපත් වන බැවින් පහසු මාවතක මා ගෙන ගිය මැනව.

11 සමිඳුනි, ඔබේ නාමයේ ගෞරවය උදෙසා මා ආරක්ෂා කළ මැනව. ඔබේ ධර්මිෂ්ඨකම නිසා මා විපතින් මිදුව මැනව.

12 ඔබේ අධික ප්‍රේමයෙන් මා සතුරන් සිඳදැමුව මැනව. මට පීඩා කරන සියල්ලන් විනාශ කළ මැනව. මන්ද, මම ඔබේ මෙහෙකරු වෙමි.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්