ගීතාවලිය 142 - Sinhala New Revised Version 2018දැඩි අනතුරක දී කන්නලව්ව ගුහාවේ තමාගේ සිටීම ගැන දාවිත්ගේ අනුශාසනා යාච්ඤාවකි. 1 මම හඬ නඟා සමිඳාණන් වහන්සේට මොරගසමි. මම ශබ්ද නඟා සමිඳුන්ට කන්නලව් කරමි; 2 මාගේ දුක් ගැනවිලි එතුමාණෝ ඉදිරියෙහි තබමි. එතුමාණෝ ඉදිරියෙහි මාගේ දුක් කරදර කියා සිටිමි. 3 මාගේ සිත මා තුළ මලානික වූ කල මා යන මඟ ඔබ දන්න සේක. මා යන මඟෙහි ඔව්හු මට මලපතක් තැබුවෝ ය. 4 මම ඇස් යොමා දකුණු දෙස බැලුවෙමි. මා ළඟ මිතුරෙකු නැති බව මට පෙනිණි. මා ආරක්ෂා කරන්න කිසිවෙක් නැත. කිසිවෙක් මා ගැන සලකන්නේ නැත. 5 සමිඳුනි, මම ඔබට මොරගැසීමි: ඔබ මාගේ රක්ෂා ස්ථානය වන සේක. මේ ජීවිතේ දී මාගේ උරුමය ඔබ පමණක් ය. 6 මාගේ මොරගැසීමට කන් දුන මැනව. මම දුක් සයුරේ කිඳා ගොස් සිටිමි. මට පීඩා කරන්නන්ගෙන් මා ගැළෙවුව මැනව. මන්ද, ඔව්හු මට වඩා බලවත් ය. 7 දුක් නමැති දඟ ගෙයින් මා මිදුව මැනව. ඔබ මට යහපත කළ නිසා මම ඔබේ සැදැහැවතුන්ගේ සභාවෙහි ඔබට තුති පුදන්නෙමි. |