ගීතාවලිය 128 - Sinhala New Revised Version 2018බැතිමතුන් හට ආසිරි 1 සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති, එතුමාණන්ගේ මාර්ගයෙහි හැසිරෙන සියල්ලෝ භාග්‍යවන්තයෝ ය. 2 මන්ද, ඔබේ ශ්‍රම ශක්තියේ ප්‍රතිඵලය ඔබ භුක්ති විඳින්නෙහි ය. ඔබ වාසනාවන්ත ය; ඔබට ශුභසිද්ධ වන්නේ ය. 3 ඔබේ බිරිඳ ඔබේ නිවෙස තුළ පල දෙන මිදිවැලක් මෙන් වන්නී ය. ඔබේ දරුවෝ ඔබේ මේසය වටා ඔලීව පැල මෙන් වන්නෝ ය. 4 සමිඳුන් කෙරෙහි ගරුබිය දක්වන්නා මෙසේ ආසිරි ලබන්නේ ය. 5 සමිඳාණෝ සියොන්හි සිට ඔබට ආශීර්වාද කරන සේක් වා! ඔබේ මුළු ජීවිත කාලයේ දී ජෙරුසලමේ සුබ සෙත ඔබට දක්නට ලැබේ වා! 6 ඔබේ දරු මුණුබුරන් දකින්නට ලැබේ වා! ඉශ්රායෙල් සෙනඟට සාමය වේ වා! |