ගීතාවලිය 105 - Sinhala New Revised Version 2018ප්‍රශංසා ගීයක් 1 සමිඳාණන් වහන්සේට තුති පුදන්න, එතුමාණන්ගේ නාමයෙන් අයැදින්න, ජාතීන් අතරේ එතුමාණන්ගේ ක්‍රියා පළ කරන්න. 2 එතුමාණන්ට ගී ගයන්න; එතුමාණන්ට පසස් ගී ගයන්න; එතුමාණන්ගේ පුදුම ක්‍රියා මෙනෙහි කරන්න. 3 එතුමාණන්ගේ ශුද්ධ නාමය ගැන උදන් අනන්න; සමිඳාණන් සොයන්නන්ගේ සිත් ප්‍රීති ප්‍රමුදිත වේ වා! 4 සමිඳාණන් ද එතුමාණන්ගේ බලය ද සොයා බලන්න; එතුමාණන් හමුව නිතර ම සොයන්න. 5-6 එතුමාණන්ගේ මෙහෙකරුන් වූ ඉශ්රායෙල් වංශයෙනි, එතුමාණෝ තෝරාගත් ජාකොබ්ගේ දරුවෙනි, එතුමාණෝ කළ පුදුම ක්‍රියා ද එතුමාණන්ගේ ආශ්චර්යයන් ද එතුමාණෝ දුන් විනිශ්චයයන් ද සිහි කරන්න. 7 එතුමාණෝ අපේ දෙවි සමිඳාණෝ ය. එතුමාණන්ගේ විනිසය මුළු පොළොවෙහි ය. 8 එතුමාණෝ පරම්පරා දහසක් දක්වා අණ කළ සිය ගිවිසුම සදහට ම සිහි කරන සේක. 9 ඒ ගිවිසුම එතුමාණෝ ආබ්‍රහම් සමඟ කළ සේක. ඊසාක්ට ද දිවුරුම් දුන් සේක. 10 එය, එතුමාණෝ ජාකොබ්ට පනතක් ද ඉශ්රායෙල්ට සදාකාල ගිවිසුමක් ද කොට ස්ථිර කරමින්, 11 “නුඹලාගේ උරුමය වශයෙන් කානාන් දේශය නුඹලාට දෙන්නෙමි”යි වදාළ සේක. 12 ඔව්හු ගණනින් ස්වල්ප දෙනෙකු වී, ඉතා ස්වල්ප දෙනෙකු වී එහි ආගන්තුකයන් වී සිටියෝ ය. 13 ඔව්හු ජාතියකින් ජාතියකට ද රාජ්‍යයකින් රාජ්‍යයකට ද සැරිසරමින් ගියෝ ය. 14 එකල්හි, ඔවුන්ට තාඩන පීඩන කරන්න එතුමාණෝ කිසිවෙකුට ඉඩ නුදුන් සේක. එසේ ය, එතුමාණෝ රජුන්ට පවා තරවටු කොට, 15 “මාගේ අබිසෙස් ලත් අයට අත නොගසන්න. මාගේ දිවැසිවරුන්ට, අනතුරු නොකරන්නැ”යි වදාළ සේක. 16 සමිඳාණෝ දේශයට සාගතයක් පැමිණෙවූ සේක; කෑම අහේනියක් ඇති කරවූ සේක. 17 එහෙත්, එතුමාණෝ ඔවුන්ට පෙරටු ව මිනිසෙකු යැවූ සේක. එනම්, වහල්කමට විකුණන ලද ජෝසෙප් ය. 18 ඔහුගේ පාදවලට විලංගු දමන ලදී; ගෙල වටා යකඩ වළල්ලක් දමන ලදී. 19 ඔහු කී අනාගත කීම ඉටු වන තුරු සමිඳුන්ගේ අතින් ඔහු පරීක්ෂා කරන ලදී. 20 එවිට මිසරයේ රජ ඔහු මුදා හරින්නට අණ කෙළේ ය. ජාතීන්ගේ පාලකයා ඔහු නිදහස් කෙළේ ය. 21 රජතුමා රාජකාරිය ඔහුට භාර දුන්නේ ය. මුළු දේශයේ ආණ්ඩුකාරයා ලෙස ඔහු පත් කෙළේ ය. 22 රජතුමා නිලධාරීන්ට නිදහසේ උවදෙස් දීම ඔහුට පැවැරී ය. මන්ත්‍රීවරුන්ට අනුශාසනා දීමේ අවසර ඔහුට ලැබුණේ ය. 23 ඉන්පසු ජාකොබ් මිසරයට ගියේ ය. ඔහු ඒ රටේ පදිංචි විය. 24 සමිඳාණෝ ඔහුගේ සෙනඟට බොහෝ දරුවන් දුන් සේක; ඔවුන්ගේ සතුරන්ට වඩා ඔවුන් බලවත් කළ සේක. 25 ඔහුගේ සෙනඟට ද්වේෂ කරන්නත්, ඔහුගේ සේවකයන් වංචාවෙන් රවටන්නත් සමිඳාණෝ මිසර වැසියන් පෙළඹවූ සේක. 26 එවිට සිය සේවක මෝසෙස් ද තමන් තෝරාගත් ආරොන් ද සමිඳාණෝ යැවූ සේක. 27 ඔව්හු දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා කළෝ ය; මිසරයේ අසිරිමත් ක්‍රියා කළෝ ය. 28 සමිඳාණෝ දේශයට අන්ධකාරය එවා එය අඳුරු කළ සේක. එහෙත්, මිසර වැසියෝ එතුමාණන්ගේ අණට කීකරු නො වූ හ. 29 එතුමාණෝ ඔවුන්ගේ ගංගා ලේ බවට හැරෙවු සේක; එහි විසූ සියලු මසුන් මැරූ සේක. 30 ඔවුන්ගේ දේශය මැඩියන්ගෙන් වැසී ගියේ ය; රජ මැදුර පවා උන්ගෙන් පිරී ගියේ ය. 31 එතුමාණෝ අණ කළ විට මුළු දේශය මැස්සන්ගෙන් හා කිනිතුල්ලන්ගෙන් පිරී ගියේ ය. 32 එතුමාණෝ වැසි වෙනුවට ගල් වැසි ද විදුලි කෙටීම් ද ඔවුන්ගේ දේශයට එවූ සේක. 33 එතුමාණෝ ඔවුන්ගේ මිදිවැල් හා අත්තික්කා ගස්වලට පහර දී ඔවුන්ගේ දේශ සීමා තුළ සියලු ගස් බිඳ හෙළූ සේක. 34 එතුමාණන් අණ කළ විට පළඟැටියෝ ද අසංඛ්‍ය ගණන් දළඹුවෝ ද ආවෝ ය. 35 උන් ඔවුන්ගේ දේශයෙහි සියලු පලා ජාති කෑහ; ඔවුන්ගේ කෙත්හි ගොයම් කාදැමූ හ. 36 එතුමාණෝ ඔවුන්ගේ පුරුෂ ශක්තියේ නිධානයන් වූ ප්‍රථම ඵලයන් වූ මිසර දේශයේ සියලු කුලුඳුලන් මරාදැමූ සේක. 37 එවිට, එතුමාණෝ ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ රන් රිදී සමඟ පිටතට ගෙනා සේක. ඔවුන්ගේ ගෝත්‍ර අතර එක දුබලයෙක් වත් නො වී ය. 38 ඔවුන් පිටත් ව ගිය කල මිසර වැසියෝ සතුටු වූ හ. මන්ද, ඔව්හු ඉශ්රායෙල් සෙනඟට බියෙන් සිටියහ. 39 සමිඳාණෝ සිය සෙනඟට ආවරණයක් ලෙස වලාකුළක් විහිදා හැරිය සේක. රෑ කාලයේ එළිය දෙන පිණිස ගින්නක් ද දුන් සේක. 40 ඔවුන් ඉල්ලූ කල එතුමාණෝ වටුවන් එවූ සේක. එතුමාණෝ ඔවුන්ට සුරලොවින් බහුල ව අහර දුන් සේක. 41 එතුමාණෝ පර්වතය විවර කළ සේක; එවිට ජලය වේගයෙන් පැන නැංගේ ය. ගංගාවක් මෙන් මරුකතර මැදින් ජලය ගලා ගියේ ය. 42 එතුමාණෝ සිය මෙහෙකරු ආබ්‍රහම් ද ඔහුට දුන් ශුද්ධ ගිවිසුම ද සිහි කළ සේක. 43 මෙසේ එතුමාණෝ සිය සෙනඟ පිටත ගෙන ගිය සේක. ඔව්හු ප්‍රීති ප්‍රමෝදයෙන් හඬ නඟා ගී ගැයූ හ. 44 එතුමාණෝ විජාතීන්ගේ දේශයන් ඔවුන්ට දුන් සේක; විජාතීන්ගේ කෙත් වතුවල අස්වැන්න ගන්නට ඔවුන්ට ඉඩ දුන් සේක. 45 එසේ කෙළේ, ඔවුන් එතුමාණන්ගේ අණපනත් රක්ෂා කරන පිණිස ය, එතුමාණන්ගේ නීති නියෝග පවත්වන පිණිස ය. සමිඳුන්ට ප්‍රශංසා වේ වා! |