Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 101 - Sinhala New Revised Version 2018


යහපත් රජ කෙනෙකුගේ ගුණ දහම්
දාවිත්ගේ ගීතයකි.

1 කරුණාව හා යුක්තිය ගැන මම ගී ගයන්නෙමි; සමිඳාණන් වහන්ස, ඔබ හට පැසසුම් ගී ගයන්නෙමි.

2 නිදොස් මඟෙහි සිහි නුවණින් ගමන් කරන්නෙමි. ඔබ කවදා මා වෙත වඩින සේක් ද? පිරිසිදු සිතින් මාගේ නිවසෙහි මම වාසය කරන්නෙමි.

3 මාගේ ඇස් කිසි නීච දෙයක් කෙරෙහි නොරඳවන්නෙමි. දෙවිඳුන් කෙරෙන් ඈත් වන්නන්ගේ ක්‍රියා මම නුරුස්සන්නෙමි. ඒවාට මම ඇලුම් නොවන්නෙමි.

4 සියලු වංක සිතුවිලි මම ප්‍රතික්ෂේප කරන්නෙමි; නපුරට මම කිසි විටෙක හවුල් නොවන්නෙමි.

5 සිය අසල්වැසියාට විරුද්ධ ව රහසින් අපවාද දොඩන්නා මම වනසන්නෙමි; උඩඟු බැල්ම හා අහංකාර සිත ඇත්තා මම නුරුස්සන්නෙමි.

6 මා සමඟ වසන පිණිස මම දේශයෙහි සැදැහැවතුන් තෝරාගතිමි. නිදොස් ලෙස දිවි ගෙවන්නෝ මාගේ සේවකයෝ වන්නෝ ය.

7 වංචනික කිසිවෙක් මාගේ නිවෙසෙහි නොවසන්නේ ය. මුසාවාදී කිසිවෙක් මා ඉදිරියෙහි නොසිටින්නේ ය.

8 දිනෙන් දින දේශයේ සියලු දුදනන් මම වනසන්නෙමි. අයුතුකම් කරන සියල්ලන් මම සමිඳුන්ගේ නුවරින් නෙරපාදමන්නෙමි.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්