Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 1 - Sinhala New Revised Version 2018


පළමු වන කාණ්ඩය සැබෑ භාග්‍යවන්තභාවය
( ගීතා 1—41 )

1 දුදනන් උපදෙස් අනුව නොයන, පව්කරුවන්ගේ මඟ නොයන, දෙවියන් වහන්සේ ගරහන්නන් ඇසුරු නොකරන,

2 සමිඳාණන් වහන්සේගේ විනයෙහි ප්‍රීති ප්‍රමුදිත වන, දිවා රෑ එය භාවනා කරන මිනිසා භාග්‍යවන්තයෙක් වන්නේ ය.

3 ඔහු ඇල දොළ අද්දර සිටුවා ඇති, නියම කලට පල දරන, කොළ පර වී නොයන ගසකට සමාන ය; ඔහු කරන සැම දේ සරු සාර වේ.

4 පවිටු දනෝ එසේ නොවෙති; ඔව්හු සුළඟේ යන බොල් හා සමාන වන්නෝ ය.

5 විනිසය එන දා දුදනන්ට නම් වරද පැවරේ; දමිටුන් සමඟ ඔවුන්ට ගැවසුම් නැත්තේ ය.

6 දමිටුන් හට සමිඳාණෝ සරණ වන සේක. පවිටුන්ගේ මාර්ගය විනාශයට යන්නේ ය.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්