ක්‍රියා 6 - Sinhala New Revised Version 2018උපස්ථායකයන් සත්දෙනා පත් කිරීම 1 ඒ දවස්වල දී ශ්‍රාවකයන්ගේ ගණන වැඩි වන කල, හෙබ්‍රෙව් බස කතා කරන ජුදෙව්වන්ට විරුද්ධ ව, ග්‍රීක බස කතා කරන ජුදෙව්වරු පැමිණිල්ලක් ඉදිරිපත් කළහ: දිනපතා සහනාධාර දීමේ දී, තමන්ගේ වැන්දඹුවන් නොසලකා හරිනු ලබති යි ඔව්හු කී හ. 2 එවිට දොළොස් දෙනා ගෝල සමූහය රැස් කරවා, “අප දෙව් දහම දේශනා කිරීම අතපසු කොට සහනාධාර කටයුතුවල යෙදී සිටීම කිසිසේත් සුදුසු නැත. 3 එබැවින් සහෝදරයෙනි, මේ තනතුරට පත් කරන පිණිස, යහපත් යයි පිළිගත්, එසේ ම ශුද්ධාත්මයෙන් ද ප්‍රඥාවෙන් ද පූර්ණ සත්දෙනෙකු ඔබ අතරෙන් තෝරා ගන්න. 4 ඉන්පසු අපි යාච්ඤාවෙහි ද ධර්ම දේශනාවෙහි ද නියුක්ත ව සිටිමු”යි කී හ. 5 මේ යෝජනාව ගැන මුළු මහත් පිරිස සතුටු වූ හ. එවිට ඔව්හු, ඇදහිල්ලෙන් හා ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ මිනිසෙකු වන ස්තේපන් ද ඔහු සමඟ පිලිප් ද ප්‍රොකොරස් ද නිකනෝර් ද තීමොන් ද පර්මෙනස් ද ජුදෙව් ආගමට හැරුණු අන්තියෝකියේ නිකොලොස් ද තෝරාගත්හ. 6 ඔව්හු මේ අය අපෝස්තුළුවරු වෙත ඉදිරිපත් කළහ. අපෝස්තුළුවරයෝ යාච්ඤා කොට ඔවුන් මත අත් තැබූ හ. 7 තවද දෙවියන් වහන්සේගේ වචනය පැතිරී ගියේ ය. ජෙරුසලමේ ශ්‍රාවකයන්ගේ ගණන බොහෝ සේ වැඩි විය. පූජකයන්ගෙන් මහත් සමූහයක් ද ඇදහිල්ල පිළිගත්හ. ස්තේපන් අත්අඩංගුවට ගැනීම 8 ස්තේපන්, දේව වරප්‍රසාදයෙන් ද ආනුභාවයෙන් ද පූර්ණ ව මහත් ලකුණු හා අරුමපුදුම දේ ජනතාව අතර සිදු කෙළේ ය. 9 එහෙත්, ‘ස්වාධීන’ යයි නම් ලත් ධර්මශාලාවට අයත් සිරේනීයයන් සහ අලෙක්සන්ද්‍රියයන්ගෙන් ඇතැමෙක් ද සිලීසියාවේ සහ ආසියාවේ සමහරු ද නැඟිට ස්තේපන් සමඟ විවාද කළහ. 10 ඔහුගේ කතාවෙහි ගැබ් වූ ප්‍රඥාව හා ශුද්ධාත්ම බලය අභිබවා නැඟී සිටීමට ඔවුන්ට නොහැකි විය. 11 එවිට, “මේ මිනිසා මෝසෙස්ටත් දෙවියන් වහන්සේටත් අපහාස කරනවා අපි ඇසීමු”යි කියන්නට ඔව්හු මිනිසුන් පෙළඹුවහු ය. 12 තවද ඔව්හු ජනතාව ද ප්‍රජා මූලිකයන් ද විනයධරයන් ද උසිගන්වා, ඔහු අත්අඩංගුවට ගෙන මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙන ගියහ. 13 එහි දී ඔව්හු බොරු සාක්ෂිකාරයන් ඉදිරිපත් කර, “මේ මිනිසා ශුද්ධස්ථානයටත් ව්‍යවස්ථාවටත් විරුද්ධ ව නොනවත්වා ම කතා කරයි. 14 නාසරෙත්හි ජේසුස් වහන්සේ මේ ස්ථානය වනසා දමා, මෝසෙස්ගෙන් අපට උරුම වූ වත්පිළිවෙත් වෙනස් කරන්නේ යයි ඔහු කියනවා ඇසීමු”යි කී හ. 15 මන්ත්‍රණ සභාවේ හිඳගෙන හුන් හැම දෙනා ම ඔහු දෙස බැලූ හ. ඔහුගේ මුහුණ දේව දූතයෙකුගේ මුහුණ මෙන් ඔවුන්ට දර්ශනය විය. |