එළිදරව් 15 - Sinhala New Revised Version 2018වසංගත සත 1 ස්වර්ගයෙහි තවත් විස්මයජනක මහා ලකුණක් දිටිමි. දේව දූතයෝ සත් දෙනෙක් වසංගත සතක් රැගෙන සිටියෝ ය. මේවායින් දෙවියන් වහන්සේගේ උදහස අවසාන වන බැවින්, ඒවා අන්තිම වසංගත වේ. 2 ගිනි මුසු වීදුරු සාගරයක් වැනි දෙයක් ද, මෘගයාගෙනුත්, උගේ රූපයෙනුත්, උගේ නාමයේ සංබ්‍යාවෙනුත් දැක්වෙන ජයගත් අය, දෙවියන් වහන්සේගේ වීණා රැගෙන වීදුරු සාගරය ළඟ සිටිනු දිටිමි. 3 ඔව්හු දෙවියන් වහන්සේගේ සේවකයා වූ මෝසෙස්ගේ ගීතිකාව ද බැටළු පෝතකයාණන්ගේ ගීතිකාව ද ගායනා කරමින් මෙසේ කී හ: “සව් බලැති ස්වාමීන් වන දෙවියන් වහන්ස, ඔබගේ ක්‍රියා උදාර ය, චමත්කාර ජනක ය. ජාතීන්ගේ රජාණෙනි, ඔබගේ මාර්ග සාධාරණ ය, සැබෑ ය. 4 ස්වාමීනි ඔබ වහන්සේට බිය නොවන්නේත්, ඔබ වහන්සේගේ නාමයට ගෞරව නොකරන්නේත් කවරෙක් ද? ඔබ වහන්සේ පමණක් සුවිශුද්ධ බැවිනි; සියලු ජාතීහු පැමිණ, ඔබ වහන්සේ ඉදිරියේ නමස්කාර කරති. මන්ද, ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියා ප්‍රකාශ කරන ලද්දේ ය.” 5 ඉන්පසු ස්වර්ගයෙහි තිබෙන සාක්ෂි මණ්ඩපය වන ඇතුළු ශුද්ධස්ථානය ඇරී, 6 වසංගත සතේ දේව දූතයන් සත් දෙනා පිටතට ආවෝ ය. ඔව්හු දිළිසෙන පිරිසිදු වස්ත්‍ර ඇඳ, තමන්ගේ ළයෙහි රන් පටි බැඳගෙන සිටියෝ ය. 7 එවිට ජීවමාන සත්ත්වයන් සතර දෙනාගෙන් එකෙක්, සදහට ම ජීවත් වන දෙවියන් වහන්සේගේ උදහසින් පිරුණු, රන් පාත්‍ර සතක් දේව දූතයන් සත් දෙනාට දුන්නේ ය. 8 එවිට දේව මාලිගාව දෙවියන් වහන්සේගේ තේජසින් හා බලයෙන් නික්මුණු ධූමයෙන් පිරුණේ ය. ඒ නිසා, දේව දූතයන් සත් දෙනාගේ වසංගත සත කෙළවර වන තුරු දේව මාලිගාවට ඇතුළු වීමට කිසිවෙකුට නුපුළුවන් විය. |