Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

එසකියෙල් 6 - Sinhala New Revised Version 2018


රූප වන්දනාව හෙළා දැකීම

1 සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:

2 “මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ ඉශ්රායෙල්හි කඳු දෙසට හරවාගෙන ඒවාට විරුද්ධ ව මේ දිවැස් වැකිය කියන්න.

3 ‘එම්බා ඉශ්රායෙල්හි කඳු, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේගේ පණිවුඩය අසන්නැ’යි කියන්න. කඳුවලටත්, මිටියාවත්වලටත්, නිම්නවලටත් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මෙන්න, මම, මම ම, නුඹලා පිට කඩුවක් පමුණුවා, නුඹලාගේ කඳු මත පූජාස්ථාන නැති කරන්නෙමි.

4 නුඹලාගේ පූජාසන පාළු වන්නේ ය. නුඹලාගේ ධූම පූජාසන කඩාදමනු ලබන්නේ ය. නුඹලා අතරෙන් මරුමුවට පත් වූ අය නුඹලාගේ දේව රූප ඉදිරිපිට බිම හෙළන්නෙමි.

5 ඉශ්රායෙල්වරුන්ගේ මළකඳන් ඔවුන්ගේ දේව රූප ඉදිරියෙහි දමා, නුඹලාගේ ඇට කටු නුඹලාගේ පූජාසන අවටින් විසුරුවන්නෙමි.

6 නුඹලාගේ පූජාසන පාළු වී, නාස්ති වී, නුඹලාගේ දේව රූප කඩා දමනු ලැබ, ඒවා විනාශ වී නුඹලාගේ ධූම පූජාසන කඩාදමනු ලැබ, නුඹලාගේ කර්මාන්ත නැති වී යන පිණිස නුඹලාගේ සියලු වාසස්ථානවල නගර නටබුන් ගොඩක් වන්නේ ය. කඳු මත පූජාස්ථාන ද පාළු වන්නේ ය.

7 මරුමුවට පත් වූ අය නුඹලා අවට වැටී සිටින විට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.

8 “එසේ වී නමුත්, මම නුඹලාගෙන් සමහරෙකු ජීවත් ව සිටින්නට ඉඩ හරින්නෙමි. ඔවුන් කඩුවෙන් ගැළවී ජාතීන් අතර විසිර යනු ඇත.

9 නුඹලා අතරෙන් ගැළවෙන අය විප්‍රවාසයට ගෙනයනු ලැබූ විට ඒ ඒ ජාතීන් අතර මා සිහි කරනු ඇත. එසේ වන්නේ, මා වෙතින් වෙන් වී ගිය ඔවුන්ගේ අවිශ්වාසී සිත මා බිඳදැමූ විට ද මා තුළ විශ්වාසය නොතබා දේව රූප දෙසට හැරුණු ඔවුන්ගේ ඇස් අන්ධ කළ විට ද වේ. ඔවුන් කළ නපුරුකම් නිසා ද ඔවුන්ගේ ද්වේෂ සහගත ක්‍රියා නිසා ද ඔව්හු ඔවුන්ගේ ඇස් හමුයෙහි ම පිළිකුලක් වන්නෝ ය.

10 මා සමිඳාණන් වහන්සේ බවත්, මේ විපත්ති ඔවුන් පිට පමුණුවන්නෙමි යි මා වදාළ වචන නිකරුණේ නොවදාළ බවත් ඔවුන් දැනගනු ඇත.”


ඉශ්රායෙල්වරුන්ගේ පාපය

11 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹේ දෑත මිරිකමින්, පොළොවේ අඩි හප්පමින්, ‘අහෝ! ඉශ්රායෙල් සෙනඟගේ සියලු නපුරු පිළිකුල් ක්‍රියා නිසා කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද ඔව්හු වැටෙති’යි කියන්න.

12 ඈත සිටින අය වසංගතයෙන් මැරෙනු ඇත; ළඟ සිටින අය කඩුවෙන් මැරෙනු ඇත; ඉතුරු වී සිට වටලනු ලබන අය සාගතයෙන් නසිනු ඇත. මෙසේ මාගේ කෝපයේ උග්‍රකම ඔවුන්ට දැනෙනු ඇත.

13 උස් වූ සියලු හෙල්වලත්, සියලු කඳු මුදුන්වලත්, සියලු අතු පතර ඇති ගස් යටත්, අතු ඇති සියලු ආලෝන ගස් යටත් තමන්ගේ සියලු දේව රූපවලට මිහිරි සුවඳ ඔප්පු කළ සෑම පූජාසන වටකර මළකඳන් වැටී තිබෙන කල, මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.

14 මම ඔවුන්ට විරුද්ධ ව මාගේ අත දිගු කොට පාළුකරය පටන් දිබ්ලා දෙසට පිහිටි ඔවුන්ගේ වාසස්ථාන ඇති මුළු දේශය පාළු ජරාවාස පෙදෙසක් කරන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්