Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

එසකියෙල් 5 - Sinhala New Revised Version 2018


එසකියෙල්ගේ හිස මුඩු කිරීම

1 සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, තියුණු කඩුවක් ගන්න. එය කරණවෑමියන්ගේ දැළිපිහියක් මෙන් පාවිච්චි කර නුඹේ හිසකෙස් ද රැවුල ද එයින් බූගා, තරාදියක් රැගෙන එය කිරා ඒ කේශ බෙදන්න. වටලෑමේ දවස් සම්පූර්ණ වූ කල්හි

2 එයින් තුනෙන් පංගුවක් නුවර මැද ගින්නෙන් දවාලන්න; තුනෙන් පංගුවක් රැගෙන නගරය වටකරින් ඒවාට කඩුවෙන් ගසන්න; තුනෙන් පංගුවක් සුළඟට විසුරුවා දමන්න. මම ද ඒවා පසුපස්සෙන් කොපුවෙන් ඇදගත් කඩුවක් ඇති ව ලුහුබැඳ එන්නෙමි.

3 එයින් ස්වල්පයක් රැගෙන ඒවා නුඹේ වස්ත්‍රයේ වාටිවල කොන්වල බැඳගන්න.

4 නැවත එයින් ස්වල්පයක් රැගෙන, ඒවා ගින්න මැදට හෙළා, ඒවා ගින්නෙන් දවාලන්න. එයින් මුළු ඉශ්රායෙල් ජාතියට විරුද්ධ ව ගින්නක් නික්මෙන්නේ ය.”


උපමාව විස්තර කිරීම

5 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජෙරුසලම දෙස බලන්න. මම ඈ ජාතීන් මැද පිහිටුවීමි. ඈ අවටින් විදෙස් රටවල් තිබේ.

6 දුෂ්ටකම් කොට ජාතීන්ට වඩා මාගේ නියෝගයන්ටත් ඈ වටකර තිබෙන රටවලට වඩා මාගේ පනත්වලටත් විරුද්ධ ව ඈ කැරලි ගැසුවා ය. මන්ද, ජෙරුසලම් වැසියෝ මාගේ විනිශ්චය එපා කළෝ ය. මාගේ අණපනත් ප්‍රකාරයට නොහැසුරුණෝ ය.

7 එබැවින් මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය. නුඹලා අවට සිටින විජාතීන්ට වඩා නුඹලා කෝලාහල කර, මාගේ අණපනත් ප්‍රකාරයට නොහැසිර, මාගේ නියෝගයන් රක්ෂා නොකර, නුඹලා අවට සිටින විජාතීන්ගේ නියෝගයන් අනුව ක්‍රියා කළ බැවින්

8 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න ජෙරුසලම, මම, මම පවා, නුඹට විරුද්ධ වෙමි. විජාතීන්ගේ ඇස් හමුයෙහි නුඹ පිට දඬුවම් පමුණුවන්නෙමි.

9 නුඹේ සියලු පිළිකුල් ක්‍රියා නිසා, මා පෙර නොකළ, මතු නොකරන විධියේ දේවල් නුඹට කරන්නෙමි.

10 අහෝ ජෙරුසලම! නුඹ තුළ පියවරු පුත්‍රයන් ද පුත්‍රයෝ තමන්ගේ පියවරුන් ද කන්නාහ; මම නුඹට දඬුවම් කොට ජෙරුසලමෙහි ඉතිරි වන සියල්ලන් දස දෙස විසුරුවා දමන්නෙමි.

11 “එබැවින් ජීවමාන මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මම මෙසේ දිවුරා කියමි. නුඹේ සියලු අශික්ෂිතකම්වලින් ද නුඹේ සියලු පිළිකුල්කම්වලින් ද නුඹ මාගේ ශුද්ධස්ථානය අපවිත්‍ර කළ නිසා සැබැවින් ම මමත් නුඹ නිර්දය ලෙස වනසාලන්නෙමි. මම ද නුඹට කරුණා නොකරන්නෙමි; අනුකම්පාව නොපෙන්වන්නෙමි.

12 නුඹේ සෙනඟගෙන් තුනෙන් කොටසක් වසංගතයෙන් මිය යන්නෝ ය; ඔව්හු සාගතයෙන් නුඹ අතරෙන් නැති වන්නෝ ය. තුනෙන් කොටසක් නුඹ අවටින් කඩු පහරින් වැටෙනු ඇත; මම තුනෙන් කොටසක් ද දස දෙස විසුරුවාදමා, කඩුවක් රැගෙන ඔවුන් පස්සෙන් ලුහුබැඳ යන්නෙමි.

13 “මෙසේ මාගේ උදහස සෑහීමට පත්වනු ඇත. ඔවුන් කෙරෙහි මාගේ කෝපය දල්වා තෘප්තියට පැමිණෙන්නෙමි. මා මාගේ කෝපාග්නිය ඔවුන් කෙරෙහි දැල් වූ විට, ප්‍රතිවාදීන් නොඉවසන ස්වාමීන් වන මා නුඹේ ද්‍රෝහිකමට විරුද්ධ ව තද උදහසින් කතා කළ බව නුඹ දැනගනු ඇත.

14 නුඹ අවට සිටින ජාතීන්ට මම නුඹ නින්දාවක් ද අවමානයක් ද වන්නට සලසන්නෙමි. නුඹ අවටින් ගමන් කරන සියල්ලන් එය දකිනු ඇත.

15 මා උදහසින් ද කෝපයෙන් ද රුදුරු දඬුවම්වලින් ද මාගේ නියෝගයන් නුඹ වෙත ඉෂ්ට කරන කල්හි නුඹ අවට සිටින සියලු විජාතීන් භීතියෙන් ඇලළී යනු ඇත. නුඹලා අවට සිටින විජාතීන්ට එය නින්දාවක් සහ සරදමක් ද යස පාඩමක් හා භීතියක් ද වන්නේ ය. මෙසේ පවසන්නේ, සමිඳාණන් වහන්සේ වන මම ය.

16 නුඹට විරුද්ධ ව මා විදින සාගතය නමැති මාරක ඊගස්, එනම් විනාශ කරන සුලු ඊගස් නුඹ විනාශ කරන්නට මම විදින්නෙමි. මම නුඹලා කෙරෙහි වඩා දරුණු සාගතයක් පමුණුවා නුඹලාට ආහාර ලැබීමේ මාර්ග කපා හරින්නෙමි.

17 මම නුඹලාට විරුද්ධව සාගතයක් ද වන මෘගයන් ද එවන්නෙමි. එයින් නුඹලාගේ දරුදැරියන් නැති වී යනු ඇත. වසංගතය ද සාගතය ද ජෙරුසලමේ සෑම තැන ම පැතිරී යනු ඇත. නුඹලාට විරුද්ධ ව යුද්ධයක් ඇති කරන්නෙමි. ස්වාමීන් වන මා මෙසේ පවසා ඇත.”

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්