Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

එසකියෙල් 35 - Sinhala New Revised Version 2018


ඒදොම්ට දඬුවම් දීම

1 තවද, සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:

2 “මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ සේයිර් කන්ද දෙසට හරවාගෙන, ඊට විරුද්ධ ව දිවැස් වැකි පවසමින්,

3 මෙසේ කියන්න. ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එම්බා සේයිර් කන්ද, බලන්න, මම නුඹට විරුද්ධ ව, මාගේ අත නුඹට දිගු කොට, නුඹ පාළුවක් ද නාස්තියක් ද කරන්නෙමි.

4 මම නුඹේ නගර නටබුන් ගොඩක් කරන්නෙමි; නුඹ පිරිහෙන්නට සැලැසූ විට මා සමිඳාණන් වහන්සේ බව නුඹ දැනගන්නෙහි ය.

5 එ”නුඹ නිරන්තරයෙන් සතුරුකම් කරමින් සිට, අන්තිම දඬුවමට මූණ පා සිටි ඉශ්රායෙල් සෙනඟගේ විපත්ති කාලයේ දී ඔවුන් කඩුවේ බලයට පාවා දුන් බැවින්,

6 මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මම මෙසේ වදාරන්නෙමි: මම නුඹ මරණයට සූදානම් කරන්නෙමි; මරණය නුඹ ලුහුබැඳ එන්නේ ය. නුඹ මිනී මැරීමට විරුද්ධ නොවූ බැවින් මරණය නුඹ ලුහුබැඳ එන්නේ ය.

7 මම සේයිර් කන්ද පාළුවක් ද නාස්තියක් ද කොට, එහි යන එන කෙනෙකු නැති ව තිබෙන්න සලස්වන්නෙමි.

8 මැරුම් කන අයගේ මළකඳන්වලින් නුඹේ කඳු පුරවන්නෙමි. නුඹේ හෙල්වල ද නුඹේ මිටියාවත්වල ද නුඹේ සියලු දෙණිවල ද කඩුවෙන් මැරුම් කන අය වැටෙනු ඇත.

9 මම නුඹ සදහට ම පාළුවක් කරන්නෙමි. නුඹේ නගරවල ද වැසියෝ නොසිටින්නෝ ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.

10 “සමිඳාණන් වහන්සේ මෙහි සිටියදීත් නුඹලා, මේ ජාති දෙක ද රටවල් දෙක ද මට අයිති වන්නේ ය කියාත්, අපි එය හිමි කර ගන්නෙමු කියාත් කී බැවින්,

11 මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මම මෙසේ වදාරන්නෙමි: ඔවුන් කෙරෙහි තිබෙන නුඹේ වෛරයෙන් නුඹ මවා පෑවා වූ නුඹේ උදහසේ හැටියටත්, නුඹේ ඊර්ෂ්‍යාවේ හැටියටත් මම නුඹට දඬුවම් කරන්නෙමි. මා නුඹ විනිශ්චය කරන කල නුඹලා අතරෙහි මම ප්‍රකාශ වන්නෙමි.

12 ඒවා පාළු වී විනාශ කිරීමට අපට පැවරී ඇතැ යි කියමින්, නුඹ ඉශ්රායෙල් කඳුවලට විරුද්ධ ව කී නුඹේ සියලු ම අපහාස කතා සමිඳාණන් වහන්සේ වන මා ඇසූ බව නුඹ දැනගන්නෙහි ය.

13 නුඹලා මට විරුද්ධ ව නැඟී සිට මට ගරහන විධියට බොහෝ සේ කතා කර ඇත. එය මම මාගේ ම කනින් ඇසීමි.”

14 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “මුළු පොළොවට ප්‍රීතියක් වන ලෙස මම නුඹ පාළුවක් කරවන්නෙමි.

15 මාගේ ම උරුමය වන ඉශ්රායෙල් දේශය පාළුවක් වූ විට නුඹ ඊට ප්‍රීති වුණාක් මෙන් මම නුඹට ද එසේ වීමට සලසන්නෙමි; එම්බා සේයිර් කන්ද! නුඹ සහ මුළු ඒදොම් මුළුමනින් ම පාළුවක් වන්නහු ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්