ආමොස් INTRO1 - Sinhala New Revised Version 2018හැඳින්වීම ආමොස් නම් දිවැසිවරයා ක්‍රි.පූ. අට වන සිය වසේ මැද හරියේ දී ඉශ්රායෙල් දේශයේ උතුරු රාජ්‍යයේ ජීවත් වූ කෙනෙකි. එවකට රට ආර්ථික වශයෙන් දියුණු තත්ත්වයක පැවතිණි. එහෙත්, ඒ බාහිර දියුණුව රවටන සුලු පුහු දියුණුවක් බව ආමොස් පෙන්වා දුන්නේ ය. අයුක්තියත්, අසාධාරණයත්, ගසාකෑමත්, තාඩනපීඩනත්, වංකකමත්, උසස් පෙළේ රජයේ නායකයන් අතර ද ආගමික පූජකයන් අතර ද රටේ රදළයන් අතර ද බහුල ව පැතිර තිබුණ බව ඔහු පෙන්වා දී ඒවාට විරුද්ධ ව තදින් කතා කෙළේ ය. අයුක්තිය නිසා රට හා ජාතිය පිරිහී විනාශ වන බව ඔහු තරයේ ම ප්‍රකාශ කෙළේ ය. දෙවියන් වහන්සේ යුක්ති සහගත දෙවි කෙනෙකු නිසා අයුක්තිය, අසාධාරණකම, වංකකම යනාදිය නොඉවසන බවත්, යුක්තියට විරුද්ධ ව කිසි ම ජාතියකට නැඟී සිටින්නට බැරි බවත් ඔහු මැනවින් පෙන්වා දෙයි. ඔහුගේ පොතේ දෙවියන් වහන්සේ පිළිබඳ ව ඇති අදහස අතිශ්‍රේෂ්ඨ ය. උන් වහන්සේ වූ කලී, සර්ව පරාක්‍රම, සර්ව සාධාරණ, යුක්තිගරුක, සියල්ල තීන්දු කරන දෙවියන් වහන්සේ ය. මේ ශ්‍රේෂ්ඨ අදහස අනුව ඔහු දෙන පණිවුඩය නම්: යුක්තියට පිටුපෑම දෙවියන් වහන්සේට පිටුපෑමකි; එයින් පුද්ගලයන්ටත්, ජාතීන්ටත් දේව තීන්දුවේ ප්‍රතිවිපාක ඇති වේ; යුක්තියට ගරු කිරීම උන් වහන්සේට ගරු කිරීමකි; එයින් වන ප්‍රතිඵලය ඉමහත් ය යනු යි. මෙහි අඩංගු කරුණු: පරිච්ඡේද 1:1; 2:5 ඉශ්රායෙල් දේශය අවට ජාතීන් පිළිබඳ දේව විනිශ්චය. පරිච්ඡේද 2:6; 6:14 ඉශ්රායෙල් ජාතිය පිළිබඳ දේව විනිශ්චය. පරිච්ඡේද 7:1; 9:15 ආමොස් දුටු දර්ශන පහ. |