Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -

මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

සලමොන්ගේ ප්‍රඥාව 16 - Sinhala New Revised Version 2018


මිසරය සහ ඉශ්රායෙලය

1 මිසර වාසීහු නිසි ලෙස ද්වේෂ කටයුතු සතුන්ගෙන් දඬුවම් ලැබූ හ. වන සතුන් විශාල ගණනකින් පීඩා කරනු ලැබූ හ.

2 මේ දඬුවම්වලට හාත්පසින් ම වෙනස් අන්දමකට ඔබේ සෙනඟට ඔබ කාරුණික ව ක්‍රියා කළ සේක. ඔවුන්ගේ දැඩි සාගින්න නිවීමට කලාතුරකින් ලැබෙන ප්‍රණීත ආහාරයක් වන පක්ෂීන් ඔබ ඔවුන් අතට සපයා දුන් සේක.

3 එහෙත්, මිසර වාසීන්ට නම්, ඔවුන්ට විරුද්ධ ව එවන ලද පිළිකුල් සතුන් දුටු විට ඔවුන් සාගින්නෙන් සිටි නමුත්, ඒ ස්වාභාවික සාගින්න පවා නැති විය. තවද, ඔබේ සෙනඟ ටික කලක් ආහාර නොලැබ සිටි නමුත් පසු ව ඔවුන්ගේ කොටස වශයෙන් කලාතුරකින් ලැබෙන ප්‍රණීත ආහාර ඔව්හු ලැබූ හ.

4 පීඩා කළ අය ම පීඩාවට පත් වීම අනිවාර්ය දෙයක් ව තිබුණි. ඒ සිය සතුරන්ට දඬුවම් ලැබීම ඉශ්රායෙල්වරුන්ට පෙනෙන ලෙසයි.


වසංගත පැමිණීම

5 වන සතුන්ගේ දරුණු කෝපයට මිසර වාසීන් පාත්‍ර වී ඇඹරි ඇඹරී සිටි සර්පයන්ගේ දෂ්ට කිරීමෙන් ඔවුන් මියයන විට ඔබේ උදහස අවසානය දක්වා නොපැවතුණේ ය.

6 ඔවුන් දුකට පත් වූයේ කලකට පමණක් තිබූ තරවටුවක් නිසා ය. මන්ද, ඔබේ නීතිය පිළිබඳ අණපනත් ඔවුන් සිහිගැන්වීමට ඔවුන්ට විමුක්තිදායක සංකේතයක් තිබිණි.

7 ඒ සංකේතය දෙස හැරුණු සැම කෙනෙක් ම ගැළවීම ලැබූ හ. එසේ වූයේ සංකේතය නිසා නොව පොදු ගැළවුම්කාරයාණන් වන ඔබ මඟිනි.

8 සැම නපුරකින් ම මිදීම දෙන්නේ ඔබ බව එවැනි මාර්ගවලින් ඔබ අපේ සතුරන්ට ඔප්පු කළ සේක.

9 තවද, පළඟැටියන්ගේ සහ මැස්සන්ගේ දෂ්ට කිරීම් විනාශදායක වූ බැවින් ද ඔවුන් සුවපත් කිරීමට පිළියමක් සොයාගත නොහැකි වූ බැවින් ද එවැනි සතුන් ලවා ඔවුන්ට දඬුවම් කිරීම ඉතා සුදුසු විය.

10 එහෙත්, විෂඝෝර සර්පයන්ගේ දෂ්ට කිරීමෙන් පවා ඔබේ පුත්‍රයෝ විනාශ නොවූ හ. ඔබේ දයාවෙන් ඔබ ඔවුන්ට සහය වී ඔවුන් සුව කළ සේක.

11 වරක් දෂ්ට කිරීමෙන් පවා ඔව්හු කොපමණ විගසින් සුවය ලැබුවෝ ද! ඔබ මෙසේ කෙළේ ඔවුන් ඔබ තරයේ අමතක නොකරන පිණිසත් ඔබේ දයාවෙන් ඔබ ඔවුන් අහක නොදමන පිණිසත් ඔවුන්ට ඔබේ වදන් සිහි කිරීමක් වන පිණිසත් ය.

12 සමිඳුනි, ඔවුන් සුවපත් වූයේ බෙහෙත් පැළයකින් නොවේ, බෙහෙත් පැලැස්තරයක් දැමීමෙන්වත් නොවේ. සියල්ල සුවපත් කරන ඔබේ ම වචනයේ බලයෙන් ය.

13 ඔබට ජීවිතය කෙරෙහිත්, මරණය කෙරෙහිත් බලය ඇත. ඔබ, මිනිසුන් පාතාල ලෝකයේ දොරටුවට ගෙන යන සේක; එතැනින් ආපසු ගෙන එන සේක.

14 මිනිසෙකුට තම දුෂ්ටකමින් අන් කෙනෙකු මරන්නට පුළුවන. එහෙත්, ඔහු චුත ව ගිය ජීව හුස්ම ආපසු නොගෙනෙයි, පාතාල ලෝකයට ගිය ප්‍රාණයට යළි නිදහස නොදෙයි.


සොබා දහමේ බලතාවයෝ

15 ඔබේ හස්තයෙන් ගැළවෙන්නට නුපුළුවන.

16 ඔබ තුමන් පිළිගැනීම ප්‍රතික්ෂේප කළා වූ අභක්තිකයෝ ඔබේ හස්තයේ බලයෙන් කස පහර වින්දෝ ය. තද වර්ෂාවකින් ද, ගල් වර්ෂාවකින් ද, මහා ධාරානිපාත වර්ෂාවලින් ද ලුහුබඳිනු ලැබ, ඔව්හු ගිනිබත් වූ හ.

17 වඩාත් පුදුම දෙය නම්, ජලය ගින්න නිවාදමයි. එහෙත් ඒ ගින්න ජලය මැද පෙර නුවු විරූ ලෙස ඇවිළී යන්න විය. මන්ද, සොබා දහම පවා සටන් කරන්නේ දැහැමි අය උදෙසා ය.

18 එක අවස්ථාවක දී අභක්තිකයන්ට විරුද්ධ ව එවන ලද ගින්නෙන් උන් නොදැවී යන පිණිසත්, එවැනි දර්ශනයකින් දේව තීන්දුව ඔවුන් ලුහුබැඳ යන බව, ඔවුන්ට පැහැදිලි කරන පිණිසත්, ගිනි ජාලාව නිවී ගියේ ය.

19 තවත් අවස්ථාවක දී වරදට පත් වූ දේශයක අස්වැන්න විනාශ කරනු පිණිස ජලය මධ්‍යයේ ම පවා ඒ ගින්න සාමාන්‍ය ගින්නකට වැඩියෙන් ඉතා දරුණු ලෙස ඇවිලෙන්නට විය.

20 එහෙත්, ඔබේ සෙනඟට ඔබ ක්‍රියා කෙළේ කොපමණ වෙනස් අයුරින් ද? ඔබ ඔවුන්ට සුර දූතයන්ගේ ආහාර දුන් සේක. සැම මිහිරි බව අඩංගු සැම ආශාවන් සංසිඳුවන, කල්තියා සූදානම් කරන ලද පූප සගලොවින් ඔබ නොකඩවා ඔවුන්ට එවූ සේක.

21 ඔබ එවූ ආහාරය මඟින් ඔබ තමන් දරුවන් කෙරෙහි දක්වන ප්‍රසන්න භාවය පෙන් වූ සේක. මන්ද, එය අනුභව කළ සැම දෙනාගේ ම ආශාවට ගැළපෙනසුලු විය. යමෙකු අනුභව කරන්නට කැමැති වූ දෙය බවට එය ඉබේ ම හැරුණේ ය.

22 හිම සහ හිම කැට ගින්නෙන් දිය වී නොගියේ ය. ඔවුන්ගේ සතුරන්ගේ අස්වැන්න වනසනු පිණිස ගල් වර්ෂාව මැද පවා ගින්න දවාලන බවත්, වහින වැස්ස මැද පවා ගින්න ඇවිලෙන බවත් ඔවුන්ට දන්වන ලද්දේ ය.

23 එහෙත්, අනික් අතට දැහැමියා හට ආහාර සැපයීමේ දී ගින්නට එහි ස්වාභාවික ගුණය පවා අමතක වනු ඇත්තේ ය.

24 මැවිල්ලේ කර්තෘවරයාණන් වන ඔබට කීකරු වෙමින් දුදනන් හට දඬුවම් දීමට මැවිල්ල යුහුසුළු වෙයි. ඔබ අදහන අයගේ යහපත තකා එය සිය ක්‍රියාකාරිත්වය මෘදු කරයි.

25 මෙලෙස මැවිල්ල සම්පූර්ණයෙන් ම වෙනස් වීම සව් සත පෝෂ්‍ය කරන ඔබගේ බහුලත්වය අරබයා සිදු වූයේ, අගහිඟ ඇති අයගේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි ය.

26 සමිඳුනි, ඔබ එය සිදු කළේ මිනිසා පෝෂණය වන්නේ විවිධ අස්වැන්නෙන් නොවන බවත්, ඔබ අදහන සියල්ලන් ආරක්ෂා කරන ඔබේ වචනයෙන් බවත් ඔබේ ප්‍රේමාන්විත දරුවන් ඉගෙනගන්නා පිණිස ය.

27 ගින්නෙන් විනාශ කරදැමීමට නොහැකි වූ දෙය එක හිරු රශ්මි ධාරාවක උණුසුමෙන් දිය වී ගියේ ය.

28 මෙයින් ඔබ අපට උගන්වන්නේ අප ඔබට තුති දීමට ඉරු උදා වීමට කලින් අවදි විය යුතු බවත්, අරුණාලෝකය වැටෙන විට අප ඔබට යාච්ඤා කළ යුතු බවත් ය.

29 මන්ද, කළගුණ නොදක්වන්නන්ගේ බලාපොරොත්තුව ශීත කාලයේ තුෂාරය මෙන් දිය වී යනු ඇත. නිකරුණේ ගලා යන වතුර මෙන් ගලා යනු ඇත.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්