Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

සලමොන්ගේ ප්‍රඥාව 11 - Sinhala New Revised Version 2018


පාළුකරය මැදින් ප්‍රඥාව මඟපෙන්වීම

1 ශුද්ධ දිවැසිවරයෙකු මඟින් ප්‍රඥාව ඔවුන්ගේ ක්‍රියා සාර්ථක කළා ය.

2 ඔව්හු ජන ශූන්‍ය පාළුකරයක ගමන් කොට පහසුවෙන් යා නොහැකි තැන්වල කූඩාරම් බැන්දෝ ය.

3 ඔව්හු තමන්ගේ සතුරන්ට එරෙහි ව නැඟිට ඔවුන් පරාජය කළෝ ය.

4 ඔව්හු පිපාසාවෙන් සිටින විට ඔබට හඬගැසුවෝ ය. එවිට ඔවුන් හට ගිරි කඳුරකින් වතුර දෙනු ලැබී ය. මෙලෙස දැඩි කළු ගලින් ගලා ආ ජලයෙන් ඔවුන්ගේ පිපාසය සන්සිඳවිණි.

5 මෙලෙස ඔවුන්ගේ සතුරන්ට දඬුවම් දීමට ගත් දේ ම ඔවුන්ගේ විපතේ දී ඔවුන්ට ප්‍රයෝජනය විය.


මිසර වැසියන්ට පහර දීම

6-8 ඔබේ සතුරන්, ඔබේ සෙනඟගේ සිඟිත්තන් ඝාතනය කළ යුතු යයි නියෝග කළ විට, හැම දා පිටාර ගලන ඔවුන්ගේ ගංගාව ඔබ කැළඹෙන්නට සලස්වා, එය ලෙයින් දුගඳ හමන තැනක් කළ සේක. ඔබ ඔවුන්ගේ සතුරන්ට දඬුවම් කළ අයුරු ඔවුනට ම දක්වන පිණිස, පාළුකරයෙහිදී ඔබේ සෙනඟට පිපාසා වන්නට සැලැසූ සේක. ඉන්පසු, බලාපොරොත්තු රහිත ව සිටිය දී ම, ඔවුනට පමණටත් වැඩියෙන් ජලය දුන් සේක.

9 ඔබේ දයාව පෙන්වන තරවටුවක් වැනි ඔවුන්ගේ දුක් කරදරවලින් ඔව්හු, උදහස් තීන්දුවලින් දඬුවම ගැන ඔබේ දයාව පෙන්වන තරවටුවක් වැනි ඔවුන්ගේ කරදරවලින්, ඉගෙනගත්හ.

10 පියෙකු දරුවන්ට දඬුවම් දෙන පරිදි ඔබ ඔවුන් පරික්ෂා කළ සේක. එහෙත්, දරුණු රජෙකු යටත් වැසියන් වරදට පත්කොට හෙළා දකින ලෙස ඔබ අනිත් අය දැඩි ලෙස විභාග කළ සේක.

11 ඔව්හු දුර හෝ ළඟ හෝ සිටියාහු වෙත් වා, වෙහෙසට පත් වී සිටියෝ ය.

12 ඔවුන් වෙළී සිටි වේදනාව දෙගුණයක් විය. අතීතය සිහි වන විට සුසුම්ලෑම දෙගුණ විය.

13 ඔවුන්ට දඬුවම් දුන් දේ ම අනිත් අය ප්‍රීති ප්‍රමෝද කර වූ බව ඔවුන් ඇසූ විට ඔව්හු ඒ ක්‍රියා තුළ දෙවිඳුන් දුටහ.

14 සියල්ල නිම වූ විට බොහෝ කලකට පෙර ඔවුන් පිටත දමා අනතුරට පාත්‍ර කොට ඉන්පසු ව සමච්චලයට ලක් කළ තැනැත්තා ගැන ඔව්හු මවිතයට පත් වූ හ. ඔවුන් එසේ කළේ පිපාසය දැහැමියාට වඩා වෙනස් ලෙස ඔවුනට දැනුන බැවිනි.


මිසරය ගැන දෙවි සමිඳුන්ගේ ඉවසීම

15 බුද්ධි හීන නාගයන් සහ පිළිකුල් වන සතුන් නමදින පිණිස ඔවුන්ගේ මෝඩ පවිටු සිතුවිලි ඔවුන් නොමඟ යැවූ බැවින් ඔවුන්ට දඬුවම් කරන පිණිස ඔබ බුද්ධි විරහිත සතුන් විශාල ගණනක් මවා

16 පාපයේ උපකරණ පාපයට දෙන දඬුවම වන බව ඔවුන්ට ඉගැන්වූ සේක.

17-19 ඔවුන් පිට වග වලසුන් හා රුදුරු සිංහයන් එවීමට ද අලුතෙන් මවන ලද කෝපාවිෂ්ට වූ බිහිසුණු හුස්ම හෙළන, දුගඳ දුම් රොද පිට කරන නොඇසූවිරූ සතුන් හෝ බියජනක ගිනි පුපුරු පිට කරන එක පහරකින් ඔවුන් නසා වනසාලීමටත් ඔවුන්ගේ බියකරු පෙනුමෙන් ම ඔවුන් වනසාලීමටත් සමත් සතුන් හෝ එවීමට ද අනියත ද්‍රව්‍යයෙන් ලොව මැවූ ඔබේ හස්තය, එනම්, ඔබේ සව් බලැති හස්තය පමා නො වී ය.

20 තවද, මොවුන් නොමැති ව පවා ඔබේ බලයේ හුස්මෙන් ගසාගෙන යනු ලැබ ඔබේ සාධාරණකමින් ලුහුබඳිනු ලැබ ඔබේ එක හුස්ම බිඳක බලයෙන් ඔවුන් මැරී වැටෙන්නට ඉඩ තිබිණි. ඔබ ගණන, මිම්ම, කිරුම, ඇතුව සියල්ල පිළියෙළ කළ සේක.


ඉවසීම විස්තර කිරීම

21 ඔබේ මහා සවිශක්තිය නිතර ඔබට අවනත ය. ඔබේ බාහු බලයට එරෙහි ව නැඟිටිය හැක්කේ කාට ද?

22 ඔබ අබිමුව මුළු ලොව තරාදිය උස් පහත් කළ හැකි දූවිලි කුඩක් හා සමාන ය. පොළොවට වැටෙන උදය කාලයේ මීදුම් බිඳක් හා සමාන ය.

23 එහෙත්, ඔබට සියල්ල කළ හැකි බැවින් ඔබ සියල්ලන් හට දයාන්විත ය. මිනිසුන් තම පව් ගැන පසුතැවී සිත් හරවා ගන්න පිණිස ඔබ ඔවුන්ගේ පාප ගැන නොසැලෙන්නෙහි ය.

24 එසේ ය, මිහි මත ඇති සියල්ලට ඔබ ප්‍රේම කරන සේක. ඔබ විසින් සාදන ලද කිසිවක් ඔබ පිළිකුල් නොකරන සේක. මන්ද, ඔබ යමකට ද්වේෂ කළ සේක් නම්, ඔබට එය නොසාදන්න ඉඩ තිබිණි.

25 ඔබට අභිමත නොවූ සේක් නම්, යමක් පවතින්නේ කෙසේ ද? ඔබ නොසෑදූ සේක් නම්, යමක් ආරක්ෂා වන්නේ කෙසේ ද?

26 සමිඳුනි, ජීවමාන සියල්ලට ප්‍රේම කරන්නාණෙනි, සියල්ල ඔබ සතු බැවින් ඔබ සියල්ල ම ආරක්ෂා කරන සේක. සියල්ල තුළ ඔබේ අමරණීය ආධ්‍යාත්මය විනිවිද යයි.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්