Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -

මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

තෝබිත් 14 - Sinhala New Revised Version 2018

1 තෝබිත්ගේ ගීතයේ අවසානය මෙය වේ.


තෝබියස් හා ආනාගේ මරණය

2 තෝබිත් අවුරුදු එක සිය දොළහක් ආයු වළඳා මියගිය පසු නිනිවය නගරයේ ඔහු ගරුබුහුමන් ඇති ව භූමදාන කරන ලදී. ඔහු අන්ධ වන විට ඔහුට වයස හැට දෙකක් විය.

3 ඔහු සුවය ලත් පසු දන්දෙමින් ද දෙවියන් වහන්සේට නිතර ස්තුති කරමින් ද උන් වහන්සේගේ මහිමය වර්ණනා කරමින් ද සුව සේ ජීවත් වූයේ ය. ඔහු මැරෙන්නට ආසන්න වූ විට ඔහු සිය පුත් තෝබියස් කැඳවා පහත දක්වන අවවාද ඔහුට දුන්නේ ය.

4 “ම පුත, නාහුම් දිවැසිවරයා නිනිවය නුවර ගැන දුන් දේව පණිවුඩය මා විශ්වාස කරන බැවින් ඔබේ දරුවන් රැගෙන මේදියාවට ඉක්මනින් යන්න. ඉශ්රායෙල්හි දිවැසිවරුන් වන දෙවියන් වහන්සේගේ පණිවුඩකාරයන් අසිරියාව සහ නිනිවය නුවරට විරුද්ධ ව කලින් කී සියල්ල සත්‍යය, ඒවා සිදු වනු ඇත. ඔවුන්ගේ වචනවලින් එකක් වත් බොරු නොවනු ඇත. යථා කාලයේ දී ඒ සියල්ල සිදු වන්නේ ය. අසිරියාවට හෝ බබිලෝනියට හෝ වඩා මේදියාවේ ඔබට ආරක්ෂාව ලැබෙනු ඇත. දෙවියන් වහන්සේ වදාළ සියල්ල සත්‍ය වන බව මම දනිමි. විශ්වාස කරමි. ඒවා ඉටු වනු ඇත. දිවැස් වැකිවලින් වචනයක් වත් බොරු නොවන්නේ ය. “ඉශ්රායෙල් දේශයේ වසන අපේ සහෝදරයන්ගේ ජන සංගණනයන් ගනු ලැබේ. ඒ අසිරිමත් දේශයෙන් ඈත දුර රටකට ඔව්හු පිටුවහල් කරනු ලබන්නෝ ය. මුළු ඉශ්රායෙල් දේශය කාන්තාරයක් වනු ඇත. සමාරිය හා ජෙරුසලම කාන්තාරයක් වනු ඇත. දේව මාලිගාව ද කලකට වනසනු ලැබ ගිනිබත් කෙරෙනු ඇත.

5 එවිට නැවතත් දෙවියන් වහන්සේ ඔවුන්ට අනුකම්පා කොට ඉශ්රායෙල් දේශයට ඔවුන් ආපසු ගෙනෙනු ඇත. නියමිත කාලය උදා වන තෙක් ඔව්හු උන් වහන්සේගේ මාලිගාව නැවත ගොඩනඟන්නෝ ය. එහෙත් එය මුලින් තිබුණාක් මෙන් අලංකාර නොවනු ඇත. ඉන්පසු ඔව්හු වහල්කමෙන් ආපසු පැමිණ ජෙරුසලම සකල ශ්‍රී විභූතියෙන් අනූන ව ගොඩනඟන්නෝ ය. තවද, ඉශ්රායෙල්හි දිවැසිවරුන් කලින් කීවාක් මෙන් ඒ නගරය තුළ දේව මාලිගාව ගොඩනඟනු ලබන්නේ ය.

6 එවිට මිහි පිට සියලු සෙනඟගේ සිත් හරවාගනු ලබන්නේ ය. ඔව්හු අවංක ලෙස දෙවියන් වහන්සේට ගරුබිය පාන්නාහ. ඔවුන් සියල්ලෝ වැරදි අතට තමන් මංමුලා කළ බොරු දෙවිවරුන් අත්හරින්නෝ ය.

7 තමන්ගේ දැහැමි කල්ක්‍රියාවෙන් ඔව්හු සදාතන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නෝ ය. ඒ දවස්වල ඉතිරි වන සියලු ඉශ්රායෙල්වරු අවංක සිතින් දෙවියන් වහන්සේ සිහි කරන්නෝ ය. ඔව්හු ආපසු පැමිණ ජෙරුසලමෙහි රැස් වී ඉන්පසු තමන්ට ම අයිති වන ආබ්‍රහම්ගේ දේශයෙහි සුරැකි ව වසන්නෝ ය. අවංක ලෙස දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නෝ ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය. තවද පාපයන් සහ දුෂ්ටකම් කරන්නෝ මිහි පිටින් තුරන් වන්නෝ ය.

8 “දැන් ඉතින් මාගේ දරුවෙනි, මම ඔබට මේ වගකීම පවරමි. දෙවියන් වහන්සේට අවංක ලෙස වැඳුම්පිදුම් කොට උන් වහන්සේ කැමැති දේ කරන්න. දැහැමි ලෙස ජීවත් වීමේ ද දන් දීමේ ද දෙවියන් වහන්සේ සිත්හි තබාගෙන නිතර ම අවංක ලෙස මුළු ශක්තියෙන් උන් වහන්සේගේ නාමයට ප්‍රශංසා කිරීමේ ද වගකීම ඔබේ දරුවන් පිට පවරන්න.

9 “එබැවින් ම පුත, නිනිවය නුවර අත්හැර යන්න. මෙහි නොනවතින්න.

10 ඔබේ මෑණියන් මා ළඟ භූමදාන කළ හැටියේ ම, ඒ දවසේ ම, කවදා හෝ වේවා නික්ම යන්න. විලිබිය රහිත ව දුෂ්ටකම සහ ද්‍රෝහිකම ජය ලබන බව මා දකින මේ දේශයේ ප්‍රමාද නොවන්න. මා දරුව, නාදබ් තම ආරක්ෂක පියා වන අහිකාර්ට කළ සියල්ල කල්පනා කරන්න. පණපිටින් සිටිය දී පවා පොළොව යටට යාමට ඔහුට බල කරනු නොලැබුවේ ද? එහෙත් ඔහු පීඩා දුන් තැනැත්තාගේ ඇස් ඉදිරිපිට ම දෙවියන් වහන්සේ ඒ අපරාධකාරයාට තම සාහසික ක්‍රියාවට වන්දි ගෙවීමට සැලැසූ සේක. මන්ද, අහිකාර් දිවා එළියට ආපසු පැමිණියේ ය. ඔහුගේ ජීවිතයට විරුද්ධ ව කැරලි ගැසූ නිසා දඬුවම් වශයෙන් නාදබ් සදාකාලික අන්ධකාරයට බැස ගියේ ය. අහිකාර්ගේ සත්ගුණවත් ක්‍රියා නිසා නාදබ් ඔහුට තැබූ මාරක උගුලට ඔහු අසු නො වී ය. තවද, නාදබ් ම තමාට විනාශය පමුණුවාගනිමින් ඔහු ම ඒ උගුලට අසු විය.

11 “එබැවින් මාගේ දරුවෙනි, දන් දීමේ පලවිපාක ද, නපුරුකමේ ප්‍රතිඵලය වන මරණය ද ඔබට පෙනෙනු ඇත. දැන් මට හුස්ම ගැනීම දුෂ්කර ය.” ඔහු මෙසේ කී පසු ඔව්හු ඔහු යහන මත තැබූහ. ඔහු මියගියේ ය. ගරුසම්මාන ඇති ව ඔහු වළලන ලදී.

12 තෝබියස්, තම මව මියගිය පසු තම පියා අසල ඇය භූමදාන කෙළේ ය. ඉන්පසු ඔහු තම බිරිඳ සහ දරුවන් රැගෙන මේදියාවට නික්ම ගියේ ය. ඔහු තම මාමණ්ඩි වූ රගුවෙල් සමඟ එක්බතානා නගරයෙහි වාසය කෙළේ ය.


තෝබියස්ගේ මරණය

13 ඔහු තම බිරිඳගේ වයස් ගත දෙමාපියන් සැලකිල්ලෙන් සහ ගෞරවයෙන් බලා හදාගෙන ඔවුන් මියගිය පසු මේදියාවේ එක්බතානාහි ඔවුන් භූමදාන කෙළේ ය. තම පියා වන තෝබිත්ගේ සම්පතට අමතර ව රගුවෙල්ගේ සම්පත ද තෝබියස්ට උරුම විය.

14 ඔහු ගරුබුහුමන් ලැබ අවුරුදු එක සිය දාහතක් ආයු වැළඳී ය.

15 ඔහු මියයන්නට පෙර නිනිවය නගරයේ විනාශය දිටී ය. මේදියාවේ රජු වූ සියක්ස්ආරෙස් විසින් නිනිවයෙහි වැසියන් සිරකරුවන් මෙන් මේදියාවට පිටුවහල් කරනු ලැබීම ඔහු දුටුවේ ය. දෙවියන් වහන්සේ නිනිවයෙහි වැසියන්ට ද අසිරියාවේ වැසියන්ට ද කළ සියල්ල ගැන ඔහු උන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය. ඔහු මියයන්නට පෙර නිනිවයෙහි ඉරණම ගැන ප්‍රීති ප්‍රමෝද වීමට ඔහුට අවස්ථාව ලැබිණි. ඔහු සදහට ම දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්