Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

උපදේශකයා හෙවත් සිරාක් 49 - Sinhala New Revised Version 2018


ජොසියා

1 ජොසියාගේ ස්මරණය සුවඳ සංයෝගකරුවෙකුගේ දක්ෂකමින් සූදානම් කරන ලද තුවරලා මිශ්‍රණයක් වැනි ය. එය සැම දිවකට ම මීපැණි මෙන් මිහිරි ය. මංගල භෝජනයක් මැද සංගීතයකට සමාන ය.

2 ඔහු සෙනඟ පාපයෙන් හැරවීමේ යහපත් මාර්ගය ගත්තේ ය. පිළිකුල් අධර්මිෂ්ඨකම වනසාදැමුවේ ය.

3 ඔහු තම හෘදය සමිඳුන් වෙත හැරවූයේ ය. දේව භක්තියෙන් තොර කාලයෙහි දී දේව භක්තිය බල පවත්වන්නට සැලසුවේ ය.


අවසාන කාලයේ රජවරු හා දිවැසිවරු

4 අන්තිම කාලයේ රජවරුන් හා දිවැසිවරුන් අතරෙන් දාවිත්, හෙසකියා සහ ජොසියා හැර අන් සියල්ලෝ ම බහුල ව අපරාධ කළෝ ය; මහෝත්තමයාණන් වහන්සේගේ නීතිය ප්‍රතික්ෂේප කළෝ ය. ජුදාහි රජවරු අන්තර්ධාන වූවෝ ය.

5 මෙසේ වූයේ ඔවුන් තම බලය අන්‍යයන්ට දුන් හෙයිනි; තම මහිමය විදේශීය ජාතියකට දුන් හෙයිනි.

6 සතුරෝ ශුද්ධ වූ තෝරාගත් නගරය පුළුස්සාදැමුවෝ ය. දිවැසිවර ජෙරමියා කී ප්‍රකාරයට එහි මාවත් විනාශ කළෝ ය.

7 ඔහු මවු ගැබෙහි දී පටන් ම දිවැසිවරයෙකු මෙන් කැප කරන ලදුව උදුරන්නට හා කඩාදමන්නටත්, නැති කරන්නටත් පමණක් නොව, ගොඩනඟන්නට හා සිටුවන්නටත් පත් කරනු ලැබූ නමුත්, ඔව්හු ඔහුට හිංසා කළෝ ය.


එසකියෙල්

8 එසෙකියෙල් මහිමාන්විත දර්ශනයක් දුටුවේ ය. දෙවියන් වහන්සේ එය කෙරුබ්වරුන්ගේ රථයට ඉහළින් ඔහුට පෙන්වූ සේක.

9 නිවැරදි මාර්ගය අනුගමනය කරන්නන් සඳහා සතුරන් තද වැස්සකට අසු වී සිටි බව ඔහුට සිහිපත් වූයේ ය.

10 දිවැසිවරුන් දොළොස් දෙනා ගැන කියම් නම්, ඔවුන්ගේ ඇටකටු මිනීවළෙන් නැඟිට නැවත වැජඹේ වා! මන්ද, ඔවුන් ජාකොබ් අස්වසා ලූ හෙයිනි. විශ්වාසයෙන් හා බලාපොරොත්තුවෙන් ඔහු මුදාගත් හෙයිනි.


සෙරුබ්බාබෙල් සහ ජෝෂුවා

11 සෙරුබ්බාබෙල්ගේ ප්‍රශංසා කෙසේ වණමු ද? ඔහු දකුණතෙහි පේරැස් මුද්දක් වැනි ය.

12 ජොසදාගේ පුත් ජෝෂුවා ද එසේ විය. ඔව්හු තමන්ගේ කාලයෙහි දී දේව මාලිගය ඉදි කළෝ ය. සදා මහිමය සඳහා ඉදි කරන ලද සෙනඟක් සමිඳුන් වෙත ගෙනාවෝ ය.


නෙහෙමියා

13 නෙහෙමියාගේ ස්මරණය ද උතුම් ය. ඔහු ජරාපත් පවුර අප උදෙසා නැවත ගොඩනැඟුවේ ය. දොරටු සහ අගුල් සවි කෙළේ ය. අපේ නටබුන් වාසස්ථානයන් නැවත ගොඩනැංවූයේ ය.


අතීතය දෙස බැලීම

14 ඒනොක්ට සමාන කිසිවෙක් මිහි පිට නොමවන ලද්දේ ය. ඔහු පොළොවෙන් ඔසවාගනු ලැබුවේ ය.

15 ජෝසෙප් මෙන් මනුෂ්‍යයෙක් කිසි කලෙක නූපන්නේ ය. ඔහු තම සහෝදරයන්ගේ නායකයා ද තම සෙනඟගේ ශක්තිය ද වූයේ ය. ඔහුගේ ඇටකටු ගෞරවයෙන් තැන්පත් කරනු ලබන්නට සලසන ලද්දේ ය.

16 සෙම් සහ සෙත් මනුෂ්‍යයන් අතර කීර්තිමත් වූවෝ ය. එහෙත්, සියලු ජීවමාන සත්ත්වයන්ට ඉහළින් ආදම් ය.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්