Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

උපදේශකයා හෙවත් සිරාක් 41 - Sinhala New Revised Version 2018


මරණය

1 තම දේපළ මැද සැපතින් ජීවත් වන මනුෂ්‍යයා හට ද කරදර නැති ව හැම දෙයින් සඵල වූ කෑමෙන් සතුටු වන්නට හැකි වූ මනුෂ්‍යයා හට ද අහෝ! මරණය, ඔබ ගැන සිතීම කොපමණ කණගාටුදායක ද?

2 අගහිඟ ඇති, ගතින් දුබල මිනිසා හට ද, වයස්ගත, කනස්සල්ලෙන් කැළඹුණු මිනිසා හට ද මහත් සේ කලකිරුණු, තවත් ඉවසිය නොහැකි මිනිසා හට ද, අහෝ! මරණය, ඔබේ තීන්දුව කොපමණ ප්‍රිය ද?

3 මරණයේ තීන්දුවට බිය නොවන්න. ඔබට පෙර ගිය අය ද ඔබට පසු ව යන අය ද සිහි කරන්න.

4 සියලු ජීවමාන සත්ත්වයන් පිට සමිඳුන් පැනවූ නීතිය මෙය වේ. එහෙයින්, මහෝත්තමයාණන් වහන්සේගේ කැමැත්තට විරුද්ධ ව යන්නේ කුමට ද? ඔබේ ජීවිත කාලය දස අවුරුද්දක් හෝ සිය අවුරුද්දක් හෝ දහස් අවුරුද්දක් හෝ වුව ද එය ගැන පාතාල ලෝකයෙහි ඔබට දොස් නඟන කෙනෙක් නැත.


අදමිටුවන්ගේ ඉරණම

5 පවිටු වූවන්ගේ පුත්‍රයෝ කමකට නැති දුෂ්ටයෝ ය. ඔව්හු අභක්තිකයන්ගේ ගෘහයෙහි නිතර ගැවසෙන්නෝ ය.

6 පවිටුන්ගේ දරු උරුමය විනාශය කරා යන්නේ ය. ඔවුන්ගේ පරපුර නිරතුරු ම දෝෂාරෝපණයට භාජන වන්නේ ය.

7 අභක්තික පියා තම දරුවන් විසින් නිගා කරනු ලබන්නේ ය. මන්ද, ඔවුන්ගේ අගෞරවයට හේතුව ඔහු වන හෙයිනි.

8 අභක්තිකයෙනි, ඔබට දුර්විපාකයක් හිමි වේ. ඔබ මහෝත්තම දෙවියන් වහන්සේගේ නීතිය අත්හැර ගියහු ය.

9 ඔබ උපන් විට ඔබ උපන්නේ සාපයට කැප වන්නට පමණකි. ඔබේ මරණයෙහි දී ඒ සාපය ඔබ පිට වන්නේ ය.

10 පොළොවෙන් එන හැම දේ පොළොවට ආපසු හැරී යන්නේ ය. මෙසේ අභක්තිකයෝ ද සාපයෙන් විනාශය කරා යන්නෝ ය.

11 මනුෂ්‍යයන් වැලපෙන්නේ මියගිය අය සම්බන්ධයෙන් ය. එහෙත්, පව්කාරයන්ගේ නොවටිනා නාමය මකාදමනු ලබන්නේ ය.

12 ඔබේ හොඳ නම ගැන පරිස්සම් වන්න. එය ඔබට ඉතුරු වන්නේ ය. එය රන්මය වස්තු දහසකට වඩා අගනේ ය.

13 සැපවත් ජීවිතය දවස් ගණනක් පවතින්නේ ය. එහෙත්, ගෞරව සහිත නාමය සදහට ම වැජඹෙන්නේ ය.


ලජ්ජා බිය පිළිබඳ හැඟීම

14 මාගේ දරුවෙනි, මාගේ ඉගැන්වීම ආරක්ෂා කරගෙන සාමදානයෙන් සිටින්න. සැඟවුණු ප්‍රඥාවෙන් ද නොපෙනෙන නිධානයෙන් ද යන මේ දෙකින් ඇති ඵල කිම?

15 තම ප්‍රඥාව සඟවන මිනිසෙකුට වඩා තම මෝඩකම සඟවන මිනිසා වටනේ ය.

16 ලජ්ජා විය යුතු තැන් ඇත. ඒවා ගැන මා කියන දේට සවන් දෙන්න. සියලු ආකාර ලජ්ජාවන් සිතෙහි දරාගැනීම හරි නැත. හැම දේ හැම දෙනා විසින් නිවැරදි ව තේරුම්ගනු නොලැබේ.

17 පියා හෝ මව හෝ ඉදිරියෙහි අනාචාරයෙහි හැසිරෙන්නට ද අධිපතියෙකු හෝ බලවතෙකු හෝ ඉදිරියෙහි බොරු කියන්නට ද

18 විනිශ්චයකාරයෙකු හෝ රජයේ නිලධාරියෙකු හෝ ඉදිරියෙහි අයුතුකමක් කරන්නට ද සෙනඟගේ සභාව ඉදිරියෙහි අභක්තික ක්‍රියාවක් කරන්නට ද ඔබ ලජ්ජා විය යුතු ය.

19 සහායකයෙකුට හා මිත්‍රයෙකුට විරුද්ධ ව කෙරෙන ද්‍රෝහිකම් ගැන ද ඔබ වාසය කරන ගමේ කෙරෙන සොරකම් ගැන ද

20 දෙවියන් වහන්සේගේ සත්‍යතාව හා ගිවිසුම ඉදිරියෙහිත් කෑම මේසයෙහිදීත් අවිනීත ව හැසිරීම ගැන ද ඔබ ලජ්ජා විය යුතු ය.

21 තෑගි දීමේ දී හෝ ලැබීමේ දී ඒවා හෙළා දැකීමට ද ඔබට ආචාර කරන අයට ප්‍රති ආචාර නොදැක්වීමෙන් ද

22 වේශ්‍යාවක වෙත බැල්ම යෙදීමට ද නෑයෙකු තුච්ඡ ලෙස සැලකීමට ද

23 අනෙකෙකුගේ කොටස හෝ ඔහු ලැබූ තෑග්ග හෝ අයුතු ලෙස අත්කරගැනීමට ද, අන් කෙනෙකුගේ භාර්යාවට ආලය දැක්වීමට ද ඔබ ලජ්ජා විය යුතු ය.

24 මෙහෙකාරියකට අයුතු හාදකම් දැක්වීමට ද ඇගේ ඇඳ ළඟට යාමට ද ඔබ ලජ්ජා විය යුතු ය.

25 ඔබේ මිතුරන් ඉදිරියෙහි හිත රිදවන වචන නොකියන්න. තෑග්ගක් දුන් පසු ඇනුම් පදයක් නොකියන්න.

26 දූසමාන ආරංචි නැවත කියන්නට හෝ විස්තර කරන්නට ද රහස් එළිදරව් කරන්නට ද ලජ්ජා වන්න.

27 එවිට ඔබ නියම ලජ්ජාව කුමක් දැ යි දැනගන්නෙහි ය. ඔබ සියල්ලන්ගේ ආදර ගෞරවයට ලක් වන්නෙහි ය.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්