Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

උපදේශකයා හෙවත් සිරාක් 37 - Sinhala New Revised Version 2018


ව්‍යාජ මිත්‍රයෝ

1 “මාත් ඔබේ මිතුරෙකි”යි හැම මිතුරෙක් ම කියන්නේ ය. එහෙත්, සමහරු නමින් පමණක් මිතුරෝ වන්නෝ ය.

2 සුහද මිතුරෙක් සතුරෙකු බවට හැරෙන්නේ නම්, එය මිනිසෙකුට භයානක ශෝකයක් නොවන්නේ ද?

3 අහෝ! දුෂ්ට අභිප්‍රාය, පොළොව කුඩුකේඩුකමෙන් වසන්නට ඔබ මවන ලද්දේ කුමට ද?

4 එක් මිතුරෙක් තම මිතුරා ධනවත් ව සිටිය දී ඔහුගෙන් වාසි ලබාගන්නේ ය. එහෙත්, ඔහු විපතට පත් වූ විට ඔහු අත්හැර යන්නේ ය.

5 තවත් මිතුරෙක් තමාගේ ලාභ ප්‍රයෝජන සඳහා මිතුරෙකුට උදව් වන්නේ ය. එහෙත්, ඔහුට කරදරයක් ඇති වන විට ඔහු ආරක්ෂා කරන්නේ ය.

6 ඔබ වෙනුවෙන් සටන් කළ ඔබේ මිතුරා අමතක නොකරන්න. ඔබ ධනවත් වූ විට ඔහු අමතක නොකරන්න.


උපදේශකයෝ

7 හැම උපදේශකයා ම උපදෙස් දෙන්නේ ය. එහෙත්, සමහරු ආත්මාර්ථයෙන් පොළඹනු ලබන්නෝ ය.

8 ඔබට දැනමුතුකම් දෙන්නට කැමැති බවක් දක්වන්නාගෙන් පරිස්සම් වන්න. ඔහුට ම අවශ්‍ය වී තිබෙන්නේ කුමක් දැ යි සොයා බලන්න. මන්ද, ඔහු තමාගේ ම ප්‍රයෝජනය සඳහා උපදෙස් දෙන හෙයිනි. ඔහුට ඔබ ගැන නපුරු අදහසක් ඇත්තේ ය.

9 “ඔබ හරි මාර්ගයෙහි ගමන් කරන්නෙහි ය”යි ඔහු ඔබට කියා, ඔබට කුමක් සිදු වන්නේ දැ යි බැලීමට ඔහු ඈතින් සිටින්නේ ය.

10 ඔබ ගැන සැක සහිත ව බලන්නෙකුගෙන් උපදෙස් ලබා නොගන්න. ඔබට ඊර්ෂ්‍යා කරන අයගෙන් ඔබේ අරමුණ සඟවාගන්න.

11 ස්ත්‍රියකගෙන් ඇගේ තරඟකාරිය ගැන නොවිමසන්න. යුද්ධය ගැන බියසුල්ලෙකුගෙන් උපදෙස් නොසොයන්න. වෙළඳාම ගැන වෙළෙන්දෙකුගෙන් හෝ විකිණීමක් ගැන මිලයට ගන්නෙකුගෙන් හෝ කළගුණ දැක්වීම ගැන ඊර්ෂ්‍යාකාරයෙකුගෙන් හෝ පරෝපකාරය ගැන ආත්මාර්ථකාමියෙකුගෙන් හෝ කළ යුතු වැඩක් ගැන කම්මැළියෙකුගෙන් හෝ වැඩක් නිම කිරීම ගැන තාවකාලික කුලීකාරයෙකුගෙන් හෝ, වැදගත් වැඩක් ගැන උදාසීන වැඩකාරයෙකුගෙන් හෝ උපදෙස් නොගන්නට පරිස්සම් වන්න.

12 එහෙත්, පනත් ඉටු කරන බව ඔබ දන්න, ඔබේ ගතිගුණවලට සමාන ගතිගුණ ඇති, ඔබ වරද්දා ගත්තොත් ඔබට අනුකම්පාව දක්වන, භක්තිමත් මිනිසෙකුගේ සරණ නිතර සොයන්න.

13 ඉන්පසු ඔබේ ම හෘදය සාක්ෂිය ඔබට දෙන දැනමුතුකමෙහි ස්ථිර ව සිටින්න. මන්ද, ඊට වඩා විශ්වාසවන්ත වූ කෙනෙකු ඔබට නැති හෙයිනි.

14 මුර අට්ටාලයක රාජකාරියෙහි යෙදී සිටින මුරකරුවන් සත් දෙනෙකුට වඩා හොඳින් මනුෂ්‍යයාගේ සිත බොහෝ විට ඔහුට කල්තියා අවවාද කරන්නේ ය.

15 තවද, මේ සියල්ලට ම වඩා මහෝත්තමයාණන් වහන්සේගෙන් යටහත් ව ඉල්ලා සිටින්න. උන් වහන්සේ ඔබේ පාද සත්‍ය මාර්ගයෙහි හසුරුවනවා ඇත.


සත්‍ය ප්‍රඥාව සහ ව්‍යාජ ප්‍රඥාව

16 සියලු ක්‍රියාකාරිත්වය බුද්ධියෙන් නික්ම ආ යුතු ය. සෑම ව්‍යාපාරයකට පෙර සිතාමතා බැලීම අවශ්‍ය වන්නේ ය.

17 කල්පනා නික්මෙන්නේ හෘදයෙනි. එය අතු සතරක් නිපදවන්නේ ය.

18 යහපත හා අයහපත ය, ජීවිතය හා මරණය ය. දිව මේ සියල්ල කෙරෙහි නිතර බල පවත්වන්නේ ය.

19 ඇතැමෙක් අනුන්ට ගුරුකම් දීමෙහි ශූරයෝ ය. එහෙත්, ඔව්හු තමන්ට ම කිසි සෙතක් කර නොගනිති.

20 ඇතැමෙක් දක්ෂ ලෙස කතා කරති. එහෙත් ඔව්හු, පිළිකුල් කරනු ලබන්නෝ ය. ඔවුන්ගේ ජීවිතය සාගින්නෙන් අවසන් වන්නේ ය.

21 ඔවුන් සමිඳුන්ගේ ප්‍රසාදය දිනා නොගත් හෙයිනි. ඔවුනට ප්‍රඥාව කිසි සේත් නොමැති හෙයිනි.

22 තමන්ගේ ම මතය අනුව ඇතැමෙක් ප්‍රඥාවන්තයෝ ය. ඔවුන් කියන හැටියට නම්, ඔවුන්ගේ ඥාන ශක්තියේ ඵල ස්ථිර ය.

23 සැබෑ ප්‍රඥාව ඇත්තා තම සෙනඟට උගන්වන්නේ ය.

24 ඔහුගේ ඥාන ශක්තිය සැබැවින් ම ස්ථිර ය ප්‍රඥාවන්තයා ආශීර්වාදයෙන් පුරවනු ලබන්නේ ය. ඔහු දකින සියල්ලෝ ම ඔහු භාග්‍යවන්තයෙකැ යි කියන්නෝ ය.

25 මනුෂ්‍ය ජීවිතය වැඩි කල් නොපවතින්නේ ය. එහෙත්, ඉශ්රායෙල්වරුන්ගේ දවස් සීමා රහිත ය.

26 ප්‍රඥාවන්තයා තම සෙනඟ අතර විශ්වාසය දිනාගන්නේ ය. ඔහුගේ නාමය සදහට ම වැජඹෙන්නේ ය.


පමණ දැන ක්‍රියා කිරීම

27 මාගේ පුත්‍රය, ඔබේ ජීවිත කාලයෙහි දී ඔබේ ප්‍රකෘති ස්වභාවය පරීක්ෂා කර බලන්න. හානිකර දේ බලා එයට ඉඩ නොදෙන්න.

28 මන්ද, සියලු දේ සියලු දෙනාට යෝග්‍ය නොවන හෙයිනි; සියලු දෙනා සියලු දෙයින් සතුටු නොවන හෙයිනි.

29 සෑම රස කෑමක් ගැන ම ගිජු නොවන්න. කෑම ගැන කෑදර නොවන්න.

30 අධික ලෙස කෑමෙන් රෝගී වන්නේ ය. පමණ ඉක්මවා කෑමෙන් ඔක්කාරය ඇති වන්නේ ය.

31 අධික ලෙස කෑමෙන් බොහෝ දෙනා මැරුණෝ ය. මේ ගැන පරිස්සම් වන්නා තම ආයු දික් කරගන්නේ ය.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්