Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

උපදේශකයා හෙවත් සිරාක් 36 - Sinhala New Revised Version 2018


ඉශ්රායෙල්වරුන්ගේ මිදීම සහ පුනරුදය සඳහා අයැදීම

1 අධිපතියාණෙනි, සියල්ලේ සමිඳුනි, අපට අනුකම්පා කර අප දෙස බැලුව මැනව. සියලු ජාතීන් පිට ඔබ කෙරෙහි බිය පතුරුවා හැරිය මැනව.

2 විදේශීය ජාතීන්ට විරුද්ධ ව ඔබේ හස්තය එසෙව්ව මැනව. ඔව්හු ඔබේ බලපරාක්‍රමය දකිත් වා!

3 ඔවුන් බලා සිටිය දී ඔබේ ශුද්ධවන්තකම අපට පෙන්නුවාක් මෙන් අප බලා සිටිය දී ඔවුන්ට ඔබේ උත්කෘෂ්ටතාව පෙන්නුව මැනව.

4 අප ඔබ දැනගන්න පරිදි ඔව්හු ඔබ දැනගනිත් වා! සමිඳුනි, ඔබ හැර අන් දෙවි කෙනෙකු නැති බව ඔව්හු දැනගනිත් වා!

5 ඔබේ ආශ්චර්යයන් නැවතත් සිදු කළ මැනව. නව අරුමපුදුම දේ කළ මැනව. ඔබගේ හස්තය ද දකුණු මහා බාහුව ද මහිමය දිනාගැනීමට සැලැස්සුව මැනව.

6 ඔබේ කෝපය පුබුදු කළ මැනව. ඔබේ උදහස වැගුරුව මැනව. විරුද්ධකාරයා විනාශ කළ මැනව. සතුරා නසා වැනසුව මැනව.

7 විනිශ්චයේ දිනය කඩිනම් කළ මැනව. ගිවිසුම සිහි කළ මැනව. මනුෂ්‍යයෝ ඔබේ වීර ක්‍රියාවන් වර්ණනා කරත් වා!

8 පළිගැනීමේ ගින්නක් පැමිණ නොමැරී ඉතිරි වූවන් වනසාදමා වා! ඔබේ සෙනඟට පීඩා කළ අය විනාශයට කැප කරනු ලබත් වා!

9 “අප හැර කිසිවෙක් නැත්තා හ”යි ඔවුන් කී බැවින්, විදේශීය අධිපතියන්ගේ හිස් සිඳදැමුව මැනව.

10 ජාකොබ්ගේ සියලු ගෝත්‍රයන් රැස් කළ මැනව. ආරම්භයේ දී මෙන් ඔවුන්ට ඔවුන්ගේ උරුමය නැවත දුන මැනව.

11 සමිඳුනි, ඔබේ නාමය කියා අඬගැසූ සෙනඟට දයා වුව මැනව. ඔබේ කුලුඳුලා මෙන් ගත් ඉශ්රායෙල්වරුන්ට කරුණා කළ මැනව.

12 ඔබේ ශුද්ධ නගරයට අනුකම්පා කළ මැනව. ඔබේ විවේක ස්ථානය වන ජෙරුසලමට අනුකම්පා කළ මැනව.

13 සියොන් කන්ද ඔබේ ප්‍රශංසා ගීතයෙන් පිරෙව්ව මැනව. ඔබේ ශුද්ධස්ථානය ඔබගේ මහිමයෙන් සපුරාලුව මැනව.

14 ඔබ විසින් පළමුවෙන් මවන ලද්දන් හට සාක්ෂි දුන මැනව. ඔබේ නාමයෙන් කියන ලද දිවැස් වැකි සම්පූර්ණ කළ මැනව.

15 ඔබ කෙරෙහි බලාපොරොත්තු වන්නන් හට විපාක දුන මැනව. ඔබේ දිවැසිවරයන්ගේ සත්‍යවාදි බව ඔප්පු කරනු ලැබේ වා!

16 සමිඳුනි, ඔබේ සෙනඟ පිට ආරොන්ගේ ආශීර්වාදය වැටෙන ලෙස ඔබේ මෙහෙකරුවන්ගේ යාච්ඤාව අසා වදාළ මැනව.

17 ඔබ සදාකාල දෙවි ස්වාමීන් වහන්සේ බව පොළොව පිට වාසය කරන සියල්ලෝ දැනගනිත් වා!


විමංශන බුද්ධිය

18 සියලු ආහාර ආමාශයට ඇතුළු වන්නේ ය. එහෙත් ඇතැම් ආහාර අනෙක් ඒවාට වඩා හොඳ ය.

19 ඒ ඒ දඩමස්වල රසයෙන් තල්ල ඒවා දැනගනියි. එසේ ම සිහි නුවණ ඇති මිනිසා බොරු වචන වටහාගනියි.

20 දුෂ්ට මිනිසා ශෝකය ඇති කරයි. එහෙත්, පළපුරුදුකම් ඇති මිනිසා එයට පිළිතුරු දෙන්නට දනියි.


භාර්යාවක තෝරා ගැනීම

21 ස්ත්‍රියක් ඕනෑ ම පුරුෂයෙකු පිළිගන්නී ය. එහෙත්, ඇතැම් තරුණියෝ අනෙක් තරුණියන්ට වඩා යහපත් වන්නාහ.

22 ස්ත්‍රියකගේ ශෝභාව එය දකින්නන් සතුටු කරවන්නේ ය. මිනිසාගේ සියලු ආශාවලට වඩා එය බලවත් වන්නේ ය.

23 ඇගේ දිව කරුණාවන්ත හා ගුණවත් වන්නේ නම්, ඇගේ පුරුෂයා මනුෂ්‍යයන් අතර ඉතා වාසනාවන්ත වන්නේ ය.

24 භාර්යාවක පාවා ගන්නාට වාසනාව උදා වන්නේ ය. ඈ ඔහුට සමාන සහකාරියකි. හේත්තු වීමට රුකුලකි.

25 වැටක් නැති ඉඩම කොල්ලකනු ලබන්නේ ය. භාර්යාවක නැති මිනිසා සුසුම්ලමින් ඒ මේ අත යන්නේ ය.

26 නුවරින් නුවරට ඉක්මනින් එහා මෙහා යන අවි ආයුධ ගෙන යන්නෙකු විශ්වාස කළ හැක්කේ කාට ද?

27 නිවසක් නැති මිනිසා ද එසේ ම ය. රාත්‍රිය පැමිණි විට තමා සිටි තැන ම ඔහු නවාතැන් ගන්නේ ය.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්