මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 35 - Sinhala New Revised Version 2018නීතිය සහ යාග පූජා 1 නීතිය පිළිපැදීම බොහෝ යාග පූජා ඔප්පු කිරීමක් වන්නේ ය. පනත්වලට ඇලුම් ව සිටීම සමඟි පූජා ඔප්පු කිරීමක් වන්නේ ය. 2 කළගුණ සැලකීම ඉතා හොඳ පිටිවලින් තැනූ පූජාවක් ඔප්පු කිරීම වැන්න. දන් දීම ප්‍රශංසාවේ යාගයක් ඔප්පු කිරීම ය. 3 දුෂ්ටකමින් හැරෙන්නෝ සමිඳුන්ට ප්‍රසන්න වන්නෝ ය. අයුතුකම අත්හරින්නෝ වන්දි ගෙවීමේ යාගයක් ඔප්පු කරන්නෝ ය. 4 සමිඳුන් ඉදිරියෙහි හිස් අතින් පෙනී නොසිටින්න. මන්ද, මේ සියලු දේ පනත්වලින් නියම කර තිබෙන හෙයිනි. 5 ධර්මිෂ්ඨයාගේ පඬුර පූජාසනයට ප්‍රසන්න වේ. එහි සුගන්ධය මහෝත්තමයාණන් වහන්සේ ඉදිරියෙහි ඉහළට නඟින්නේ ය. 6 ධර්මිෂ්ඨයාගේ යාගය පිළිගනු ලබන්නේ ය; එහි ස්මරණය අමතක කරනු නොලබන්නේ ය. 7 සමිඳුන්ට නිර්ලෝභී ලෙස ගෞරව කරන්න. ඔබ ඔප්පු කරන ප්‍රථම පල ගැන ලෝභ නොවන්න. 8 ඔබ පඬුරක් ඔප්පු කරන සෑම විට ම ප්‍රීති සහගත මුහුණක් දක්වන්න. දසයෙන් කොටස ඔප්පු කරන විට ප්‍රීතිමත් වන්න. 9 මහෝත්තමයාණන් ඔබට දුන්නාක් මෙන් ඔබත් දෙන්න. ඔබේ වත්කම අනුව නිර්ලෝභී ලෙස දෙන්න. 10 මන්ද, සමිඳාණන් ඔබට ආපසු ගෙවන හෙයිනි. උන් වහන්සේ සත් ගුණයක් දෙන සේක. දෙවියන් වහන්සේගේ සාධාරණකම 11 අල්ලසක් දීමෙන් උන් වහන්සේ දූෂණය කරන්නට උත්සාහ නොකරන්න. උන් වහන්සේ එය පිළිගන්නේ නැත. අයුතු යාගයක් කෙරෙහි ඔබේ විශ්වාසය නොතබන්න. 12 මන්ද, සමිඳාණන් විනිශ්චයකාරයෙකු වන හෙයිනි. උන් වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම නොබලන සේක. 13 දුප්පතාට හානි සිදු වන ආකාරයෙන් උන් වහන්සේ මිනිසුන් නොසලකන සේක. උන් වහන්සේ පීඩිතයාගේ කටහඬට ඇහුම්කන් දෙන සේක. 14 උන් වහන්සේ අනාථයාගේ ආයාචනය ඉවත නොලන සේක. තම මැසිවිල්ල වගුරුවන වැන්දඹුවගේ ඉල්ලීම ප්‍රතික්ෂේප නොකරන සේක. 15 වැන්දඹුවගේ කඳුළු ඇගේ කොපුල් පිට ගලා නොයන්නේ ද? ඒ කඳුළු වැගිරවීමට සැලැස්වූ තැනැත්තාට එරෙහි ව ඇය හඬයි. 16 තම මුළු සිතින් දෙවියන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නා පිළිගනු ලබන්නේ ය. ඔහුගේ අයැදුම වලාකුළු දක්වා නඟින්නේ ය. 17 බැහැපත් මිනිසාගේ යැදුම් වලාකුළු සිදුරු කරගෙන යන්නේ ය. එය සමිඳුන් වෙත යන තෙක් ඔහු සැනසුම ලබන්නේ නැත. 18 මහෝත්තමයාණන් වහන්සේ ඔහු දෙස නෙත යොමු කරන තෙක්, ධර්මිෂ්ඨයාගේ අයිතිය දී යුක්තිය නැවත පිහිටුවන තෙක්, ඔහුගේ යාච්ඤාව නොනවතින්නේ ය. 19 සමිඳාණෝ ප්‍රමාද නොවන සේක. අධර්මිෂ්ඨයන් උදෙසා ඉවසිලිමත් නොවන සේක. 20 කෲරයන්ගේ තුනටිය කඩන තෙක්, ජාතීන්ගෙන් පළිගන්න තෙක්, 21 අහංකාරිකයන්ගේ සේනාව සහමුලින් විනාශ කරන තෙක්, දුෂ්ටයන්ගේ යෂ්ටි කඩාදමන තෙක්, 22 එකිනෙකාගේ ක්‍රියා අනුව ඔවුන්ට පල විපාක දෙන තෙක්, මනුෂ්‍යයන්ගේ ක්‍රියා ඔවුන්ගේ අභිප්‍රායයන් අනුව විනිශ්චය කරන තෙක්, 23 තම ජනයාට යුක්තිය ඉටු කර තම දයාවෙන් ඔවුන් පුරවන තෙක්, උන් වහන්සේ ඉවසිලිමත් නොවන සේක. 24 වියළි කාලයෙහි දී වැහි වලාකුළු මෙන් විපත්ති කාලයෙහි දී සමිඳුන්ගේ දයාව ඉතා පියකරු ය. |