Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

උපදේශකයා හෙවත් සිරාක් 33 - Sinhala New Revised Version 2018

1 සමිඳුන් කෙරෙහි ගරුබිය ඇත්තාට උපද්‍රවයක් සිදු නොවන්නේ ය. ඔහුගේ තද දුකින් ඔහු නැවත නැවත නිදහස් කරනු ලබන්නේ ය.

2 නීතිය පිළිකුල් කරන්නා ප්‍රඥා සම්පන්න නොවන්නේ ය: එහෙත්, ව්‍යාජ ලෙස නීතිය පිළිපදින්නා කුණාටුවකට අසුවුණු නැවක් මෙනි.

3 නැණවත් මිනිසා නීතිය කෙරෙහි විශ්වාසය තබන්නේ ය. ඔහුට නීතිය කෙරෙහි දෙවියන් වහන්සේගේ වචනය කෙරෙහි මෙන් විශ්වාසය තැබිය හැකි ය.

4 ඔබ කියන්නට යන දේ ගැන සූදානම් වන්න. එවිට අසන්නෝ ඔබට ඇහුම්කන් දෙන්නෝ ය. උත්තර දෙන්නට පෙර, ඔබ දන්නා කරුණු පිළිවෙළට සකස් කරගන්න.

5 මෝඩයාගේ හැඟීම් කරත්ත රෝදයක් වැනි ය. ඔහුගේ සිතිවිලි කරකැවෙන කක්ෂයක් මෙන් කරකැවෙන්නේ ය.

6 මද කිපුණු අශ්වයා උපහාස කරන මිතුරෙකු වැනි ය. යමෙකු උගේ පිටට නඟින විට ඌ සතුටින් නාද කරන්නේ ය.


අසමානතාව

7 මුළු අවුරුද්ද තුළ දී ම ආලෝකය සූර්යයාගෙන් නික්මෙන්නේ නම්, එක දවසක් තවත් දවසකට වඩා වැදගත් වන්නේ මන් ද?

8 උන් වහන්සේගේ තීරණයෙන් ඒවා වෙන් කොට දක්වනු ලැබූ හෙයිනි. උන් වහන්සේ සෘතු ද මංගල්‍යයන් ද වෙනස් ව පවතින්නට සැලැසූ සේක.

9 උන් වහන්සේ සමහර ඒවා උසස් බවට පමුණුවා ශුද්ධවන්ත කළ සේක. අනෙක් ඒවා සාමාන්‍ය දවස් කළ සේක.

10 සියලු මනුෂ්‍යයෝ පොළොවෙන් වන්නෝ ය. ආදම් පොළොවේ පසෙන් සාදන ලද්දේ ය.

11 සමිඳාණෝ තම මහා ප්‍රඥාව අනුව ඔවුන් වෙනස් කොට සෑදූ සේක; ඔවුන්ගේ තත්ත්වයන් විසිතුරු කළ සේක.

12 උන් වහන්සේ ඔවුන් අතරෙන් සමහරෙකුට ආශීර්වාද කර ඔවුන් උසස් කළ සේක. සමහරෙකු ශුද්ධවන්ත කර තමන් වහන්සේ ළඟට ගත් සේක. උන් වහන්සේ සමහරෙකුට සාප කර ඔවුන් පහත් කළ සේක. ඔවුන් තමන්ගේ තනතුරුවලින් පහත හෙළූ සේක.

13 තමා කැමැති ආකාරයෙන් හැඩගස්වන කුඹලාගේ අතෙහි තිබෙන මැටි මෙන් මනුෂ්‍යයෝ තමන් මැවූ තැනැන් වහන්සේගේ හස්තයෙහි වන්නෝ ය. උන් වහන්සේ තම සාධාරණකම අනුව ඔවුන්ට පල විපාක දෙන සේක.

14 අයහපත ඉදිරියෙහි යහපත ඇත්තේ ය. මරණය ඉදිරියෙහි ජීවිතය ඇත්තේ ය. එසේ ම බැතිමතා ඉදිරියෙහි පවිටුවා සිටින්නේ ය.

15 එසේ හෙයින්, මහෝත්තමයාණන් වහන්සේගේ සියලු කෘතීන් ගැන මෙසේ මෙනෙහි කරන්න. සියලු දේ යුග වශයෙන් ප්‍රතිවිරුද්ධ දේවල් මෙන් දක්නට ලැබෙන්නේ ය.

16 මම අන්තිමයට පැමිණි තැනැත්තෙකු මෙන් සෝදිසියෙන් සිටියෙමි. මිදි නෙළන අය පසුපස ගොස් වැටුණු මිදි ගෙඩි අහුලන්නෙකු මෙන් වීමි.

17 සමිඳුන්ගේ ආසිරියෙන් මම සියල්ලන්ට වඩා රැස් කෙළෙමි. මිදි නෙළන්නා මෙන් මම මිදි පල මිරිකාදමන බඳුන පිරවූයෙමි.

18 මා උදෙසා පමණක් මා වෙහෙස නොවූ බව සලකන්න. පුහුණුව සොයන සියලු දෙනා උදෙසා මම වැඩ කෙළෙමි.

19 සෙනඟගේ අධිපතියෙනි, මට ඇහුම්කන් දෙන්න. සභාවේ ප්‍රධානියෙනි, මට සවන් දෙන්න.


නිදහස

20 ඔබේ පුත්‍රයාට හෝ බිරිඳට හෝ සහෝදරයාට හෝ මිත්‍රයාට හෝ ඔබේ ජීවිත කාලයෙහි දී ඔබ කෙරෙහි බලයක් නොදෙන්න. ඔබේ වස්තුව වෙන කවරෙකුට වත් නොදෙන්න. ඔබ ඒ ගැන කණගාටු වන්නෙහි ය. එය ආපසු ඉල්ලන්නට සිදු විය හැකි ය.

21 ඔබ ජීවත් ව සිටින තෙක්, ඔබේ ශරීරයෙහි හුස්ම ඇති තෙක් කවරෙකුගේ වුවත් බලයට ඔබ යටහත් නොවන්න.

22 මන්ද, යටහත් ව ඉල්ලමින් ඔබ තම දරුවන් දෙසට හැරෙනවාට වඩා ඔවුන් ඔබෙන් ඉල්ලීම සුදුසු වන හෙයිනි.

23 ඔබේ සියලු ක්‍රියාවල දී ස්වාමියා මෙන් සිටින්න. ඔබේ හොඳ නමට කැළලක් ඇති කර නොගන්න.

24 ඔබේ ජීවිතයේ දවස් අවසාන වන විට මරණ මොහොතෙහි දී ඔබේ උරුමය බෙදා හරින්න.


දාසයෝ

25 තණ, පිදුරු කෝටුව හා බර යන මේවා කොටළුවාට ය; ආහාර, විනය හා වැඩ දාසයාට ය.

26 ඔබේ දාසයාගෙන් වැඩ ගන්න; ඔබට චිත්ත සාමය ඇති වන්නේ ය. ඔහුගේ අත් අලස වන්නට හැරියොත් ඔහු නිදහස සොයන්නට පටන්ගන්නේ ය.

27 වියගසෙන් හා තෝන් ලණුවෙන් බෙල්ල නැමෙන්නේ ය. දුෂ්ට දාසයාට දඬුකඳ හා දැති පොල්ල අවශ්‍ය ය.

28 ඔහු අලස ව නොසිටින පිණිස වැඩෙහි යොදවන්න. මන්ද, අලසකම සියලු ආකාර මැරවරකම් උගන්වන හෙයිනි.

29 ඔහුට සුදුසු වැඩෙහි ඔහු යොදවන්න. ඔහු අකීකරු වුවහොත් ඔහු යදම්වලින් බඳින්න.

30 එහෙත්, කිසිවෙකුට අධික වශයෙන් නිර්දය ලෙස බල නොකරන්න. සාධාරණකමට විරුද්ධ ව කිසිත් නොකරන්න.

31 ඔබට ඇත්තේ එක දාසයෙකු පමණක් නම්, ඔහු ඔබ මෙන් සලකන්න. මන්ද, ඔබ ඔහු ලෙයින් මිලයට ගත් හෙයිනි.

32 ඔබට ඇත්තේ එක දාසයෙකු නම් ඔහු සහෝදරයෙකු මෙන් සලකන්න. මන්ද, ඔබ මෙන් ම ඔහු ඔබට අවශ්‍ය වන හෙයිනි.

33 ඔබ ඔහුට පීඩා කර ඔහු පලා යන්නේ නම්, ඔහු සොයන්නට ඔබ කුමන මඟකින් යන්නෙහි ද?

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්