Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

උපදේශකයා හෙවත් සිරාක් 28 - Sinhala New Revised Version 2018


බද්ධ වෛරය

1 පළිගන්න තැනැත්තා සමිඳුන්ගේ පළිගැනීම අත්දැකීමෙන් දැනගන්නේ ය. උන් වහන්සේ පාපවල නිවැරදි සටහනක් තබාගෙන සිටින සේක.

2 ඔබේ අසල්වැසියා කළ වරදට සමා වන්න. එවිට ඔබේ යාච්ඤාවෙහි දී ඔබේ පව් කමා කරනු ලබන්නේ ය.

3 මිනිසෙක් යමෙකුට විරුද්ධ ව කෝපය තම සිතෙහි පදිංචි කරගන්නේ නම්, ඔහු විසින් සමිඳුන්ගෙන් සමාව ඉල්ලිය හැක්කේ කෙසේ ද?

4 ඔහු තමා වැනි මිනිසෙකුට අනුකම්පා නොකරන්නේ ය. එසේ නම් ඔහු තමාගේ ම පව් උදෙසා යාච්ඤා කරන්නේ කෙසේ ද?

5 මැරෙනසුලු කෙනෙකු වන ඔහු බද්ධ වෛරයක් තබා යන්නේ ය. ඔහුගේ පාපවලට සමාව දෙන්නේ කවරෙක් ද?

6 අන්තිමය සිහි කර වෛර කිරීමෙන් වැළකෙන්න; ජරාව හා මරණය සිහි කර විශ්වාසවන්ත ලෙස පනත් ඉටු කරන්න.

7 පනත් සිහි කර අසල්වැසියාට විරුද්ධ ව වෛරයක් තබා නොගන්න. මහෝත්තමයාණන් වහන්සේගේ ගිවිසුම සිහි කර වරදට කමා කරන්න.


අඬදබර

8 අඬදබරයෙන් තොරව සිටින්න. එවිට ඔබ පාපයෙන් වැළකෙන්නෙහි ය. වහා කිපෙන මිනිසා අඬදබර උපදවන්නේ ය.

9 පවිටුවා මිතුරන් අතර භේද වපුරන්නේ ය, සාමදානයෙන් ජීවත් වන ජනයා අතර අපවාද පතුරුවන්නේ ය.

10 ගින්න ඇවිළීමට ගන්නා ද්‍රව්‍ය අනුව ගින්න ඇවිලෙන්නේ ය. අඬදබරය එහි වේගය අනුව පැතිර යන්නේ ය. මනුෂ්‍යයෙකුගේ කෝපය ඔහුගේ ශක්තිය පිට රඳා පවතින්නේ ය. ඔහුගේ උදහස ධනයේ ප්‍රමාණය අනුව දරුණු වන්නේ ය.

11 හදිසි අඬදබරයෙන් කෝප ගින්න දල්වනු ලබන්නේ ය. කඩිනම් ආරාවුලෙන් ලේ වැගිරීමක් ඇති වන්නේ ය.

12 ගිනි පුපුරකට පිම්බොත් එය ඇවිලෙන්නේ ය. එයට කෙළ ගැසුවොත් එය නිවී යන්නේ ය. මේ දෙක ම සිදු වන්නේ මුඛයෙන් ය.


දිවට කළ හැකි දේ

13 ඕපාදූප පතුරන්නාටත්, වංචාබස් දොඩන්නාටත් වන විපතක මහත! ඔව්හු සාමදානයෙන් ජීවත් වූ බොහෝ දෙනෙකු විනාශ කළෝ ය.

14 ආරාවුලක දී මැදිහත් වන තුන් වන පක්ෂය බොහෝ ජනයා කම්පා කළෝ ය. ඔව්හු රටින් රටට පන්නාදමනු ලැබුවෝ ය.

15 ඒ පක්ෂය බලසම්පන්න නගරයක් විනාශ කර ඇත. අධිපතීන්ගේ ගෘහයක් පෙරළාදමා ඇත.

16 ඒ තුන් වන පක්ෂය ගුණවත් භාර්යාවන් ගේදොරින් පන්නාදමා ඇත. ඔවුන්ගේ දැඩි ශ්‍රමයට ලැබිය යුතු වේතනයෙන් ඔවුන් වළක්වා ඇත. ඒ අයට ඇහුම්කන් දෙන්නාට සිත් තුළ සාමදානය සම්බ නොවන්නේ ය. නැවත සාමදානයෙන් ජීවත් වීමට ඔහුට නොහැකි වන්නේ ය.

17 කස පහරෙන් ලාංඡනයක් ඇති වන්නේ ය. එහෙත්, දිවේ පහරෙන් ඇටකටු බිඳෙන්නේ ය.

18 බොහෝ මනුෂ්‍යයෝ කඩුවෙන් වැටුණෝ ය. එහෙත්, ඊටත් වඩා අය දිවෙන් විනාශ වූවෝ ය.

19 එහි ස්පර්ශයෙන් ආරක්ෂා වන්නා වූ ද එහි වියරුව අත් නුදුටුවා වූ ද එහි වියගස නොදැරුවා වූ ද එහි යදම්වලින් බඳිනු නොලැබුවා වූ ද මනුෂ්‍යයා භාග්‍යවන්තයෙකි!

20 එහි වියගස අයෝමය වියගසකි. එහි යදම් ලෝකඩ යදම් ය.

21 එයින් සිදු වන මරණය කාලකණ්ණි මරණයකි. පාතාල ලෝකය ඊට වඩා හොඳ ය.

22 බැතිමතුන් කෙරෙහි බලපෑමක් එයට නැත්තේ ය. ඔව්හු එහි ගිනි ජාලාවෙන් නොදැවෙන්නෝ ය.

23 සමිඳුන් අත්හරින්නෝ එයට ගොදුරු වන්නෝ ය. ඔවුන් තුළ එය නොනිවෙන ලෙස ඇවිලෙන්නේ ය. ඔවුන්ට විරුද්ධ ව එය සිංහයෙකු මෙන් කඩාබිඳගෙන එන්නේ ය. එය දිවියෙකු මෙන් ඔවුන් ඉරාදමන්නේ ය.

24 බලන්න, ඔබේ ඉඩම කටු වැටකින් වට කරන්න. ඔබේ රිදී රත්රන් යතුරු ලා තබන්න.

25 කතාවෙහි දී තරාදි සහ පඩි භාවිතා කරන්න. ඔබේ මුඛය හරහා අගුල් සහිත දොරක් දමන්න.

26 එය මඟින් කට නොවරද්දා ගැනීමට පරිස්සම් වන්න. නැති නම්, ඔබ ගැන සෝදිසියෙන් සිටින්නාට ඔබ අසුවන්ට පුළුවන.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්