Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -

මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

උපදේශකයා හෙවත් සිරාක් 25 - Sinhala New Revised Version 2018


ආප්තෝපදේශ

1 මා අතිශයින් ප්‍රිය කරන කාරණා තුනක් ඇත්තේ ය. ඒවා දෙවියන් වහන්සේටත් මනුෂ්‍යයන්ටත් පියකරු ය. ඒවා නම්: සහෝදරයන් අතර එකමුතුකම ය, අසල්වැසියන් අතර මිතුරු දහම ය, අඹු සැමි යුවලක් ප්‍රීතියෙන් විසීම ය.

2 මාගේ ආත්මය පිළිකුල් කරන තුන් ආකාරයක පුද්ගලයෝ සිටිති. ඔවුන් ජීවත් ව සිටීම මාගේ සිත වික්ෂිප්ත කරවයි. ඔව්හු නම්: උඩඟුවෙන් හිස උදුම්මා ගෙන සිටින දුප්පතා ය, බොරුකාරයෙකු වන ධනවතා ය, පරදාර කර්මයෙහි යෙදෙන මෝඩ මහල්ලා ය.


මහල්ලෝ

3 තරුණ කාලයේ දී ඔබ කිසිවක් රැස් කර නොගත්තෙහි නම්, ඔබේ මහලු වියෙහි දී ඔබට යමක් ඇති වන්නේ කෙසේ ද?

4 පැසුණු කෙස් සමඟ ම මනා විචාර බුද්ධියක් ඇති වීම කොපමණ හොඳ ද? වැඩිමහල්ලන් උපදෙස් දීමට දැනගත්තොත් කොපමණ අගනේ ද?

5 මහල්ලන් තුළ ප්‍රඥාව කොපමණ ශෝභන ද? ලෝකයේ උත්තමයන් තුළ පිරිපුන් කල්පනාව කොපමණ අනර්ඝ ද?

6 මහල්ලන්ගේ කිරුළ නම්, පරිණත අත්දැකීම ය. ඔවුන්ගේ සැබෑ මහිමය නම්, සමිඳුන් හට ගරුබිය පෑම ය.


වෙනත් ආප්තෝපදේශ

7 මාගේ සිතට කාවදින, යෝග්‍ය යයි මා කල්පනා කරන, දේවල් නවයක් ඇත්තේ ය. දසවැන්නක් ද මම ඔබට කියන්නෙමි. ඒවා නම්: තම දරුවන් තුළ තමාගේ ප්‍රීතිය සම්බවන මිනිසා ය; තම සතුරන්ගේ වැටීම දක්නට ජීවත් ව සිටින මිනිසා ය;

8 නැණවත් භාර්යාවක සමඟ ජීවත් වන මිනිසා භාග්‍යවන්තයෙකි. ගවයෙකු හා කොටළුවෙකු එකට යොදාගැනීමෙන් වෙහෙසට පත් නොවන මිනිසා භාග්‍යවන්තයෙකි. කිසි කලක කටින් පව් නොකළ මිනිසා භාග්‍යවන්තයෙකි. තමාට වඩා පහත් ස්වාමියෙකුට මෙහෙ නොකරන්නා භාග්‍යවන්තයෙකි.

9 නැණනුවණ ලත් තැනැත්තා භාග්‍යවන්තයෙකි. අසා සිටින පිරිසගේ අවධානය දිනාගන්න මිනිසා භාග්‍යවන්තයෙකි.

10 ප්‍රඥාව ලබාගත් මිනිසා කොපමණ උතුම් ද? එහෙත්, සමිඳුන්ට ගරුබිය පාන්නා සියල්ලන් පරදවන්නේ ය.

11 සමිඳුන් කෙරෙහි ගරුබිය දැක්වීම ඔහු සියලු දේට වඩා උසස් කොට සලකන්නේ ය. එය හිමි කරගන්නා කුමකට සමාන කළ හැකි ද?

12 සමිඳුන්ට ප්‍රේමය පෑමේ මුල් පියවර එතුමන් වෙත ගරුබිය දැක්වීම යි. එතුමන්ට පක්ෂපාත ව සිටීමේ මුල් පියවර නම් විශ්වාසය යි.


ස්ත්‍රීහු

13 හැම තුවාළයකට ම වඩා හෘදයේ තුවාළය දැරිය නොහැකි ය. හැම වෛරයට ම වඩා ස්ත්‍රියගේ වෛරය දරුණු ය.

14 හැම විපතට ම වඩා එදිරිකාරයාගෙන් සිදු වන විපත දරුණු ය. හැම පළිගැනීමකට ම වඩා සතුරාගෙන් සිදුවන පළිගැනීම දරුණු ය.

15 සර්පයාගේ විසට වඩා උග්‍ර විසක් නැත්තේ ය. සතුරාගේ වෛරයට වඩා උග්‍ර වෛරයක් නැත්තේ ය.

16 ඊර්ෂ්‍යා සහගත භාර්යාවක සමඟ වාසය කිරීමට වඩා සිංහයෙකු හෝ කිඹුලෙකු හෝ සමඟ වාසය කිරීම ප්‍රිය කරන්නෙමි.

17 ස්ත්‍රියකගේ නපුරුකම ඇගේ පෙනුම වෙනස් කරන්නේ ය. වලසෙකු මෙන් ඇගේ මුහුණ සැර පරුෂ වන්නේ ය.

18 ඇගේ පුරුෂයා තම අසල්වැසියන් අතර කෑමට වාඩි වන්නේ ය. ඔහු නොවැළැක්විය හැකි ලෙස ශෝකයෙන් හූල්ලන්නේ ය.

19 ස්ත්‍රියකගේ කුඩුකේඩුකමට සමාන කළ හැකි කුඩුකේඩුකමක් නැත්තේ ය. පව්කාරියකගේ ඉරණම ඇයට හිමි වේ වා!

20 වැලි කන්දක ඉහළට නැඟීම මහල්ලෙකුගේ පාදවලට කෙසේ ද? සන්සුන් පුරුෂයෙකුට දොඩමලු භාර්යාව එසේ වන්නී ය.

21 ස්ත්‍රියකගේ රූපශ්‍රීයෙන් රැවටෙන්ට ඉඩ නොදෙන්න. ස්ත්‍රියක නිසා සිහි කල්පනාව නැති කර නොගන්න.

22 භාර්යාවක් තම පුරුෂයා නඩත්තු කරන්නී නම්, කෝපය ද අවලාදය ද නින්දාව ද රජකම් කරන්නේ ය.

23 අධෛර්යවත් වීම, දුක්මුසු මුහුණ, බිඳුණු හදවත, යන මේවා දුෂ්ට භාර්යාවකගේ වැඩ ය. දුබල අත්, නැමී වැටෙන දණ, යන මේවා තම පුරුෂයා අභාග්‍යවත් කරවන භාර්යාවකගේ ලකුණු ය.

24 පාපය ආරම්භ වූයේ ස්ත්‍රියකගෙන් ය. ඈ නිසා අපි සියලු දෙනා මැරෙන්නෙමු.

25 ජලය කාන්දු වීම සඳහා ඊට මාර්ගයක් නොදෙන්න. දුෂ්ට ස්ත්‍රියට නිදහසේ කතා කරන්නට ඉඩ නොදෙන්න.

26 ඈ සම්පූර්ණයෙන් යටත් ව නොසිටින්නී නම්, ඇගෙන් වෙන් වී සිටින්න.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්