Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -

මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

උපදේශකයා හෙවත් සිරාක් 21 - Sinhala New Revised Version 2018


විවිධ පාප

1 මාගේ පුත්‍රය, ඔබ පව් කෙළෙහි ද? නැවත එසේ නොකරන්න. ඔබේ පසුගිය පව්වලට සමාව අයැදින්න.

2 සර්පයෙකුගෙන් පලා යන්නාක් මෙන් පාපය කෙරෙන් පලා යන්න. ඔබ කිට්ටු වුවහොත් ඌ ඔබට දෂ්ට කරනු ඇත. උගේ දත් සිංහයෙකුගේ දත් වැනි ය; ඒවා මිනිසාගේ ප්‍රාණය පැහැර ගන්නේ ය.

3 නීති කඩ කිරීම දෙමුවහත් කඩුවකි; එයින් සිදු වන තුවාළ සුව කළ නොහැකි ය.

4 භීතිය හා බලහත්කාරය මාලිගා වනසන්නේ ය. එසේ ම කාලකණ්ණිකම අහංකාරිකයන්ගේ ගෘහය විනාශ කරන්නේ ය.

5 දුප්පතාගේ යාච්ඤාව දෙවියන් වහන්සේගේ සවනෙහි වැදෙන්නේ ය. උන් වහන්සේගේ විනිශ්චය අප්‍රමාද ව පැමිණෙන්නේ ය.

6 තරවටුව අප්‍රිය කරන්නා පව්කාරයාගේ අඩි පාරේ ගමන් කරන්නේ ය. සමිඳුන් හට ගරුබිය පාන්නා තම හෘදයෙන් මනස්ස්ථාප වන්නේ ය.

7 මුඛරි කථිකයා හැම තැන ම ප්‍රසිද්ධ ය. එහෙත්, කල්පනා කරන මිනිසා ඔහුගේ කතාවෙහි අඩු පාඩු දන්නේ ය.

8 තමාගේ ගෙය අනුන්ගේ මුදලින් ගොඩනැඟීම තමාගේ සොහොන් ගෙයට ගල් එකතු කිරීමක් වැනි ය.

9 නීතිගරුක නොවන මිනිසුන්ගේ එකතුව කොහු ගොඩක් වැනි ය. එය ඇවිලෙන ගින්නෙන් අවසන් වන්නේ ය.

10 පවිටුන්ගේ මාර්ගය සුමුදු ලෙස සකස් කර ඇත්තේ ය. එහෙත්, එහි කෙළවර පාතාල ලෝකයෙන් අවසන් වන්නේ ය.


ඥානවන්තයා සහ අඥානයා

11 නීතිය පිළිපදින්නා තමාගේ හැඟීම් පාලනය කර ගන්නේ ය. සමිඳුන් කෙරෙහි පාන ගරුබිය ප්‍රඥාවෙන් සම්පූර්ණ වන්නේ ය.

12 බුද්ධිය නැත්තෙකුට කිසිවක් ඉගෙනගත නොහැකි ය. එහෙත්, බුද්ධිය නිසා දොම්නස වැඩි විය හැකි ය.

13 ප්‍රඥාවන්තයාගේ දැනුම ගංවතුරක් සේ වැඩි වෙයි. ඔහුගේ උපදේශ ගලන ගඟක් වැනි ය.

14 මෝඩයාගේ හෘදය බිඳුණු භාජනයක් වැනි ය. දැනුම එහි නොරඳන්නේ ය.

15 වැදගත් මිනිසෙක් පණ්ඩිත කියමනක් අසන්නේ නම්, ඔහු එය අගය කර, එයට තවත් එකතු කරන්නේ ය. ළාමක තැනැත්තා එය අසා සිනාසෙයි; ඔහු එය තමා පිටුපසට විසිකරයි.

16 මෝඩයකුගේ කතාව ගමනෙහි දී ගෙනයන බරක් මෙනි. එහෙත්, නැණවතාගේ වදන් ඇසීම ප්‍රසන්නකර දෙයකි.

17 නැණවතාගේ කතාව සභාව නොඉවසිල්ලෙන් බලාපොරොත්තු වන්නේ ය. ඔහු කියන දේ ගැන සියලුදෙන දැඩි අවධානය යොමු කරන්නෝ ය.

18 මෝඩයාගේ ප්‍රඥාව ගෙයක නටබුන් වැනි ය. මෝඩයාගේ දැනුම එකටෙක නොගැළපෙන කතාව ය.

19 අඥානයාට ශික්ෂණය වනාහි පාදයෙහි දමන ලද විලංගු වැනි ය; දකුණතෙහි දමන ලද මාංචු වැනි ය.

20 මෝඩයා මහ හඬින් සිනාසෙන්නේ ය. නැණවතා නිසල ව සිනාසෙන්නේ ය.

21 නැණවතාට උපදෙස් රන්මුවා අබරණයකි. එය ඔහුගේ දකුණතෙහි ලූ වළල්ලක් මෙනි.

22 අධම මෝඩයා කඩිසර ලෙස ගොස් ගෙයකට වදින්නේ ය. පළපුරුදුකම් ඇති මිනිසා විනීත ලීලාවක් දක්වන්නේ ය.

23 අඥානයා දොර ළඟ සිට ඇතුළට එබී බලන්නේ ය. විනීත මිනිසා පිටත නැවතී සිටින්නේ ය.

24 දොරවල් ළඟ සිට ඇහුම්කන් දීම අශික්ෂිත මිනිසෙකු බවට ලකුණකි. නැණවත් මිනිසා එබඳු දෙයක් කිරීමට ලජ්ජා වන්නේ ය.

25 වාචාලයන්ගේ තොල් අනුන්ගේ වචන යළිත් කියන්නේ ය. නැණවතුන්ගේ වචන පරීක්ෂාකාරී ව කියනු ලබන්නේ ය.

26 මෝඩයන්ගේ හදවත ඔවුන්ගේ වචනවලින් ප්‍රකාශ වන්නේ ය. නැණවතුන්ගේ වචනවලින් ඔවුන්ගේ හදවත ප්‍රකාශ වන්නේ ය.

27 සතුරාට සාප කරන දුෂ්ට මිනිසා තමාට ම සාප කරගන්නේ ය.

28 අනුන්ගේ දොස් පතුරුවන්නා තමාට ම හානියක් සිදු කර ගන්නේ ය. ඔහු අසල්වැසියන්ගේ පිළිකුලට භාජන වන්නේ ය.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්