Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -

මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

උපදේශකයා හෙවත් සිරාක් 2 - Sinhala New Revised Version 2018


කම්කටොලු මැද දේව ගරුබිය

1 මාගේ පුත්‍රය, ඔබ සමිඳුන් හට සේවය කිරීමට අදහස් කරන්නෙහි නම්, කරදර හිරිහැර විඳීමට සූදානම් වන්න.

2 අවංක හෘදයක් ඇති ව සිටින්න; ධෛර්යවත් වන්න; විපත් කාලයේ දී බිය නොවී සිටින්න;

3 සමිඳුන් හට ඇලුම් ව සිටින්න; එතුමන් අත් නොහරින්න. එවිට ඔබේ අන්තිම දවසෙහි දී ඔබ ගරුබුහුමන් ලබන්නෙහි ය.

4 ඔබට සිදු වන සියලු දේ පිළිගන්න. ඔබේ අසරණ තත්ත්වයෙහි වරින් වර ඇති වන වෙනස්කම්වල දී ඉවසිලිමත් වන්න.

5 රත්රන් ගින්නෙන් උරගා බලනු ලැබේ. තෝරාගත් අය නින්දාව නමැති උදුනෙහි පරීක්ෂා කරනු ලබන්නෝ ය.

6 ඔබේ විශ්වාසය එතුමන් තුළ තබන්න. එතුමන් ඔබට උපකාරී වනු ඇත. අවංක මාර්ගය ඔස්සේ යන්න: එතුමන් කෙරෙහි බලාපොරොත්තුව තබන්න.

7 සමිඳුන් හට ගරුබිය දක්වන ඔබ එතුමන්ගේ දයාව, බලාපොරොත්තු වන්න. ඔබ නොවැටෙන පිණිස මාර්ගයෙන් ඉවත් ව නොයන්න.

8 සමිඳුන් හට ගරුබිය දක්වන ඔබ එතුමන් කෙරෙහි විශ්වාසය තබන්න. ඔබේ විපාකය නිසැක ය.

9 සමිඳුන් හට ගරුබිය පාන ඔබ එතුමන්ගෙන් යහපත් දේ බලාපොරොත්තු වන්න. සදා ප්‍රීතිය ද දයාව ද බලාපොරොත්තු වන්න.

10 යටගිය පරම්පරාවන් ගැන සිතා බලන්න; සමිඳුන් කෙරෙහි විශ්වාසය තැබූ කවරෙක් ලජ්ජාවට පත් වූයේ ද? එතුමන්ට ස්ථිර ලෙස ගරුබිය පෑ කවරෙක් අත්හරිනු ලැබුයේ ද? එතුමන්ගෙන් පිහිට පැතූ කවරෙක් පිළිතුරු නොලැබ සිටියේ ද?

11 සමිඳාණෝ අනුකම්පා සහගත ය, දයාවන්ත ය; එතුමාණෝ පව් කමා කර විපත් දවසේ දී ගැළවීම දෙන සේක.

12 අධෛර්යට පත්වන්නන් හට ද වීර්යය නැති අයට ද වන විපතක මහත! දෙබිඩි මාවතක පා නඟන පව්කරුවාට ද එසේ ම සිදුවේ.

13 විශ්වාසය නැති උදාසීන හෘදයට වන විපතක මහත! මෙබඳු අයට ආරක්ෂාවක් නැත්තේ ය.

14 සටනෙහි පරාජිත වූ ඔබට වන විපතක මහත! සමිඳාණන් ඔබ බැලීමට වඩින විට ඔබ කුමක් කරන්නට යන්නෙහි ද?

15 සමිඳුන් හට ගරුබිය පාන්නෝ එතුමන්ගේ අණට අකීකරු නොවේ. එතුමන්ට ප්‍රේම කරන්නෝ එතුමන්ගේ මාර්ග ආරක්ෂා කරන්නෝ ය.

16 සමිඳුන් හට ගරුබිය පාන්නෝ එතුමන් ප්‍රසන්න කිරීමට සොයන්නෝ ය. එතුමන්ට ප්‍රේම කරන්නෝ එතුමන්ගේ ව්‍යවස්ථාවෙන් තෘප්තිය ලබාගන්නෝ ය.

17 සමිඳුන්ට ගරුබිය පාන්නෝ සූදානම් හෘදයක් ඇති ව සිටින්නෝ ය; ඔව්හු එතුමන් ඉදිරියෙහි යටහත් පහත් වන්නෝ ය.

18 අපි මිනිසුන්ගේ අත්වලට නොව සමිඳුන්ගේ අත්වලට බාර වෙමු. එතුමන්ගේ තේජස යම් සේ ද, එතුමන්ගේ කරුණාවත් එසේ ම ය.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්