Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -

මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

උපදේශකයා හෙවත් සිරාක් 19 - Sinhala New Revised Version 2018

1 මෙසේ කරන්නා කිසි කලක ධනවත් නොවන්නේ ය. සුළු දේවල් හෙළා දකින්නා ක්‍රමයෙන් පිරිහෙන්නේ ය.

2 මුද්‍රික පානය හා ස්ත්‍රීහු සිහි නුවණ ඇති මිනිසුන් මුළා කරන්නෝ ය. වේශ්‍යා ස්ත්‍රීන් සමඟ ගැවසෙන්නා තම විළිබිය නැති කර ගන්නේ ය.

3 ඔහු කීටයන්ගේ හා පණුවන්ගේ ගොදුර වන්නේ ය. විළිබිය නැති මිනිසා තම ජීවිතය නැති කරගන්නේ ය.


දොඩමලු බව

4 යමෙකු කෙරෙහි ඉක්මනින් විශ්වාසය තබන්නා තමාගේ චපල බව ප්‍රකාශ කරන්නේ ය. පව් කරන තැනැත්තේ තමාට ම හානි සිදු කරගන්නේ ය.

5 අයහපත් දේ කිරීමට ගිජු වන තැනැත්තේ දඬුවම් විඳින්නේ ය.

6 ප්‍රලාප කීමට අප්‍රිය කරන්නා නපුරෙන් බේරෙන්නේ ය.

7 ඔබට කියන ලද දේ කවදාවත් අනිකෙකුට නොකියන්න. එයින් ඔබට කිසි පාඩුවක් නොවන්නේ ය.

8 ඔබේ මිතුරාට හෝ ඔබේ සතුරාට හෝ ඒ ගැන කිසිවක් නොකියන්න. එසේ නොකීම ඔබට පාපයක් නොවන්නේ නම්, එය එළිදරව් නොකරන්න.

9 යමෙකු ඔබට ඇහුම්කන් දෙනවා විය හැකි යි. ඔහු ඔබ ගැන සැක කරන්නේ ය; යථා කාලයේ දී ඔබ ගැන අමනාප වන්නෙහි ය.

10 ඔබ යමක් ඇසුවෙහි ද එය ඔබ සමඟ මිනීවළට යේ වා! බිය නොවන්න. එයින් ඔබ බිඳ නොවැටෙන්නෙහි ය.

11 මෝඩයා පුවතක් ඇසූ විට, මහත් වේදනා විඳින්නේ ය, ප්‍රසව වේදනා විඳිනා ස්ත්‍රියක මෙන් රුදාවක් ඇති කරගන්නේ ය.

12 මෝඩයාගේ සිත තුළ ඇති අදහස් කළවයෙහි වැදුනු ඊ ගසක් වැනි ය.


ඇසෙන හැම දේ ම විශ්වාස නොකළ යුතු බව

13 ඔබේ මිතුරා වරදක් කළ බව අසා ඇත්නම්, ඔහුගෙන් විමසන්න. ඔහු එය නොකළා විය හැකි ය. ඔහු එය කළා නම් යළි එසේ නොකරනු ඇත.

14 ඔබේ අසල්වැසියා යමක් කී බව අසා ඇත්නම්, ඔහුගෙන් විමසන්න. ඔහු එය නොකීවා විය හැකි ය. ඔහු එය කීවේ නම් යළි එසේ නොකියනු ඇත.

15 ඔබේ මිතුරා වරදක් කළ බව අසා ඇත්නම්, ඔහුගෙන් විමසන්න. අපවාදය නිතර සිදු වන දෙයකි. ඔබට ඇසෙන හැම දෙය ම විශ්වාස නොකරන්න.

16 වැරදි අදහසක් නැති ව මිනිසා බොහෝ වචන පවසන්නේ ය. අප අතර කතාවෙන් වැරදි නොකෙළේ කවරෙක් ද?

17 තර්ජනය කරන්නට පෙර ඔබේ අසල්වැසියාගෙන් විමසා බලන්න. මහෝත්තමයාණන් වහන්සේගේ නීතියට ඉඩ තබන්න.

18 සමිඳුන් හට ගරුබිය පෑම ප්‍රඥාව වන්නේ ය. ප්‍රඥාව නම්, එතුමන්ගේ අණපනත් මුළුමනින් පිළිපැදීම ය.

19 සමිඳුන්ගේ අණපනත් දැනගැනීම ජීවනදායක විනය වේ. එතුමන්ට ප්‍රසන්න දේ කරන අය අමරණීය ගසෙන් ඵල රැස් කරන්නේ ය.


සත්‍ය ප්‍රඥාව හා ව්‍යාජ ප්‍රඥාව

20 ප්‍රඥාව නම්, සමිඳුන් හට ගරුබිය පෑම වන්නේ ය. දේව නීතිය ඉටු කිරීම ප්‍රඥාවෙහි පිහිටා ඇත්තේ ය.

21 මෙහෙකරුවෙක් සිය ස්වාමියා අමතා, ‘ඔබට වුවමනා දේ මම නොකරමි’ කියා පසු ව එය කළත්, සිය ස්වාමියා කෝපගන්වනු ඇත.

22 එහෙත්, නරක දේ දැනගැනීම ප්‍රඥාව නොවේ. පව්කාරයන්ගේ දැනමුතුකමෙහි නැණවත්කමක් නැත්තේ ය.

23 පිළිකුල් කළ යුතු දක්ෂකමක් ඇත්තේ ය. ප්‍රඥාව නොමැත්තා අඥානයෙකි.

24 අධික නැණවත්කමින් යුක්ත ව නීතිය කඩ කිරීමට වඩා නැණවත්කමින් අඩු ව බිය සැක ඇති ව සිටීම හොඳ ය.

25 අධර්මිෂ්ඨකමට තුඩු දෙන ස්ථානෝචිත දක්ෂකමක් ඇත්තේ ය. මෙබඳු මිනිසා තම අයිතිය තහවුරු කරගැනීමට වංචාව උපයෝගී කරගන්නේ ය.

26 ශෝකයෙන් හිස නමාගෙන ඇවිදින මිනිසෙක් සිටී. එහෙත්, ඔහුගේ අභ්‍යන්තරයෙහි කූට උපාය ඇත්තේ ය.

27 මුහුණු සඟවමින්, බිහිරි බවක් අඟවමින්, ඔහු කුහක ලෙස ඔබෙන් ප්‍රයෝජන ගන්නේ ය.

28 පව් කිරීමට තමා දුර්වල යයි මේ මිනිසාට සිතෙන්නේ ය. එහෙත්, තමාට ඇති වන ප්‍රථම අවස්ථාවෙහි ඔහු වැරදි කරන්නේ ය.

29 මිනිසෙකු ඔහුගේ පෙනුමෙන් හඳුනාගත හැකි වන්නේ ය. මුහුණේ ලීලාවෙන් නැණවතෙකු දැනගත හැකි වන්නේ ය.

30 මිනිසෙකුගේ ඇඳුමෙන් ද ඔහුගේ ගමන් ලීලාවෙන් ද ඔහුගේ උස් හඬින් නැඟෙන සිනහවෙන් ද ඔහු කෙබන්දෙකු දැ යි දැනගත හැකි වන්නේ ය.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්