Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

ජුදිත් 14 - Sinhala New Revised Version 2018


ජුදෙව්වරුන් අසිරියන්වරුන්ගේ කඳවුරකට පහර දීම

1 ජුදිත් ඔවුන්ට කතා කොට මෙසේ කීවා ය: “සහෝදරවරුනි, මට සවන් දෙන්න. මේ හිස රැගෙන ඔබේ ප්‍රාකාරයේ ඉතා උස් තැන එල්ලා තබන්න.

2 උදය පැමිණ මිහි පිට හිරු උදා වූ කෙණෙහි ම ඔබ අතරෙන් එකිනෙකා යුද්ධයට සැරසී ශක්තිමත් සියලු දෙනා නුවරින් පිටතට යෙත් වා! මිටියාවතෙහි සිටින අසිරියන්වරුන්ගේ මුරකාවලට විරුද්ධ ව බැස යන ලීලාවක් අඟවමින් මොවුන් පිට අධිපතියෙකු පත් කරගන්න.

3 එහෙත්, ඔවුන්ට විරුද්ධ ව බැස නොයන්න. අසිරියන්වරුන්ගේ කඳවුරට ගොස් තමන්ගේ හමුදාවේ අධිපතීන් පුබුදුවනු ඇත. එබැවින් ඔවුන් හොලෝපර්නස්ගේ කූඩාරමට ඉක්මන් කර ගිය විට ඔහු නොදකිනු ඇත. එබැවින් ඔවුන් භයින් තැතිගෙන ඔබ ඉදිරියෙන් පලා යනු ඇත.

4 ඔබ විසින් ද ඉශ්රායෙල් දේශයෙහි වාසය කරන සියලු දෙනා විසින් ද කළ යුතු ව තිබෙනුයේ ඔවුන් ලුහුබැඳ ගොස් පලා යන ඔවුන්ට පහර දීම පමණකි.

5 “එහෙත්, ඉන් පෙර අම්මොන් ජාතික අකියෝර් මා වෙත කැඳවන්න. ඉශ්රායෙල් වංශයට නිගා කළා වූ ද මරණයට නියම වූ කෙනෙකු මෙන් තමා අප වෙත එව්වා වූ ද මනුෂ්‍යයා දකින්නට ඔහුට හැකි වන්නේ ය.”

6 එවිට උසියාගේ ගෘහයෙන් අකියෝර් ගෙනෙන ලද්දේ ය. රැස් ව සිටි සෙනඟ අතරින් කෙනෙකුගේ අතෙහි තිබුණු හොලෝපර්නස්ගේ හිස දුටු කෙණෙහි ම ඔහු මූර්ඡා වී බිම ඇද වැටුණේ ය.

7 ඔව්හු ඔහු නඟා සිටෙව්වෝ ය. ඔහු ජුදිත් පාමුල වැඳ වැටී ශබ්ද නඟා, “ජුදාහි සියලු කූඩාරම්වල ද සියලු ජාතීන් අතර ද ඔබ ආශීර්වාදිත වේ වා! ඔබේ නාමය උච්චාරණය කරනු අසන්නෝ භයින් ත්‍රස්ත වන්නෝ ය”යි කී ය.

8 “පසුගිය දින ස්වල්පය තුළ දී ඔබ කළ සියලු දේවල් මට කියන්නැ”යි ද ඔහු කී ය. එවිට ජුදිත් මුළු සෙනඟ මැද සිට තමා බෙතුලියාවෙන් පිටත් ව ගිය දා පටන් දැන් කතා කළ මොහොත දක්වා කළ සියලු දේ විස්තර කළා ය.

9 ඈ නිහඬ වූ විට සෙනඟ මහත් සේ ඔල්වරසන් දෙමින් මුළු නුවර ප්‍රීති ඝෝෂාවෙන් ඒකනින්නාද කළෝ ය.

10 ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ කළ සියලු දේ දුටු අකියෝර් උන් වහන්සේ කෙරෙහි ස්ථිර විශ්වාසය පිහිටුවා චර්මඡේදනය කරන ලදුව ඉශ්රායෙල් ජාතියට නියත වශයෙන් බඳවාගන්නා ලද්දේ ය.

11 අරුණෝදය වූ විට බෙතුලියාවේ ජනයා හොලෝපර්නස්ගේ හිස ප්‍රාකාරයෙහි එල්ලා තැබුවෝ ය. එකිනෙකා තම තමාගේ ආයුධ රැගෙන සියලු දෙනා කණ්ඩායම්වලට බෙදී කන්දේ බෑවුම්වලට ගියහ.

12 මේ දුටු අසිරියන්වරු තමන්ගේ අධිපතීන්ට ඉක්මනින් පණිවුඩ යැව්වෝ ය. ඔව්හු පිළිවෙළින් සේනාව හසුරුවන්නන් වෙත ද, සහශ්‍රාධිපතීන් වෙත ද තමන්ගේ අනෙක් සියලු මුලාදෑනීන් වෙත ද ගියහ.

13 මෙසේ ඔව්හු අන්තිමේ දී හොලෝපර්නස්ගේ කූඩාරම දක්වා ගියහ. ඔව්හු කූඩාරමේ සේවකයාට කතා කොට, “අපේ ස්වාමීන් නැඟිටුවන්න. මේ වහල්ලු ගරුසරු නැති ව බැස අවුත් අපට පහර දී තමන්ගේ සම්පූර්ණ විනාශය සිදු කරගැනීමට අවුත් සිටිති”යි කී හ.

14 බගොවස් ඇතුළට ගියේ ය. හොලෝපර්නස් ජුදිත් සමඟ සයනය කරති යි සිතූ ඔහු කූඩාරම වෙන් කරන තිරයට තට්ටු කළේ ය.

15 එහෙත්, කිසිවෙකුට කිසිවක් නොඇසුණාක් ලෙස පෙනීගිය හෙයින්, ඔහු තිරය ඇර සයනාගාරය තුළට ගිය විට හොලෝපර්නස් මැරී එළිපත උඩ විසි කරන ලදුව සිටි බව ද හිස ශරීරයෙන් වෙන් කොට පැහැරගෙන ගොස් තිබුණු බව ද දුටුවේ ය.

16 එවිට ඔහු කෑගසා, හඬමින් ඉකි ගසමින් මොරහඬ දුන්නේ ය; දුකින් තම වස්ත්‍ර ඉරාගත්තේ ය.

17 ඉන්පසු ඔහු ජුදිත් සිටි කූඩාරමට ගොස් බැලූ නමුත් ඈ එහි නොසිටි බව දිටී ය.

18 එවිට ඔහු එහි රැස් වූ අය මැදට වේගයෙන් දිව ගොස්, “අහෝ! මේ වහල්ලු අප රැවටූ හ. එක හෙබ්‍රෙව් ස්ත්‍රියක් නෙබුකද්නෙශර්ගේ වංශය පිට අපකීර්තිය පැවරුවා ය. හොලෝපර්නස්, හිස ගසාදමන ලදුව බිම වැටී සිටී ය”යි කී ය.

19 මේ වචන ඇසූ අසිරියන් හමුදාවේ අධිපතීහු සම්පූර්ණයෙන් කැළඹුණු සිත් ඇත්තාහු පුදුමයෙන් තමන්ගේ වස්ත්‍ර ඉරාගත්හ. මුළු කඳවුර ඔවුන්ගේ කෑගැසීමෙන් ද මොරගැසීමෙන් ද රැව් පිළිරැව් දුන්නේ ය.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්