මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 12 - Sinhala New Revised Version 2018ජොප්පා සහ ජම්නියා නගරවල සිදු වූ දේ 1 මේ ගිවිසුම අවසාන කළ පසු ලිසියස් තෙමේ රජු වෙත ආපසු ගියේ ය. ජුදෙව්වරු ද තමන්ගේ කෘෂිකාර්මික කටයුතුවල නිරත වනු සඳහා ආපසු ගියහ. 2 එසේ වුවත් යුද කොමසාරිස්වරුන් වූ තිමෝතියස් සහ ජෙන්නෙවුස්ගේ පුත් අපොල්ලෝනියස් ද හියරෝනිමස් සහ දෙමොපොන් ද නිකනෝර් නමැති සයිප්‍රසයේ ආණ්ඩුකරු ද ජුදෙව්වරුන්ට සාමයෙන් සහ විවේකී ව ජීවත්වීමට ඉඩ නුදුන් හ. 3 ජොප්පා නුවර සෙනඟ පහත දැක්වෙන දුෂ්ට අපරාධය පවා කිරීමට නිර්භීත වූ හ. ඔව්හු තමන්ගේ නැව් කිහිපයකට නඟින ලෙස ඔවුන් අතර විසූ ජුදෙව්වරුන්ටත් ඔවුන්ගේ අඹුදරුවන්ටත් ඇරයුම් කළහ. මොවුන්ට අනතුරක් කිරීමට යාම පිළිබඳ කිසි ම අදහසක් ඒ අවස්ථාවේ දී නොපෙන්වන ලදී. 4 ඒ දිනවල මෙය අනුමත කිරීමට පුරවැසියන් විසින් ප්‍රසිද්ධ ඡන්ද විමසීමක් ද කර තිබුණි. ජුදෙව්වරුන් සාමකාමී ජනතාවක් වූ හෙයින්, ඔව්හු කිසිවක් ගැන සැක නොකොට එම ඇරයුම් පිළිගත්හ. එහෙත් නැව මහ මුහුදට දියත් කරනු ලැබීමෙන් පසු, යටත්පිරිසෙයින් දෙසියයක් වූ මේ පිරිස මුහුදු පත්ලට ගිලා බස්වනු ලැබූ හ. 5 තම රට වැසියන්ට වූ මේ දුෂ්ට ඉරණම ගැන ජූදස්ට සැළ වූ විට ඔහු තම පිරිසට අණ දී, 6 සාධාරණ විනිශ්චයකාරයාණන් වන දෙවියන් වහන්සේට යාච්ඤා කොට, තම සහෝදරයන්ගේ මිනීමරුවන්ට පහර දුන්නේ ය. අන්ධකාර වූ පසු වරායට ගිනිතබා නැව් ගිනිබත් කොට ඒවායේ සැඟවුණු සියල්ලෝ ම කඩුවෙන් මරාදමනු ලැබූ හ. 7 නුවර වාසල් දොරටු වසා තිබුණු බැවින් ආපසු අවුත්, ජොප්පාහි මුළු ජනතාව ම මරාදැමීමට අදහස් කරගෙන ඔහු පසු බැස ගියේ ය. 8 එහෙත් ජම්නියාවේ සෙනඟක් එලෙසට ම එහි වසන ජුදෙව්වන් ගැන ක්‍රියා කිරීමට අදහස් කරන බව දැක 9 ඔහු ජම්නියාවේ සෙනඟට රාත්‍රි කාලයේ පහර දී නැව් සමූහයටත් වරායටත් ගිනිලෑවේ ය. බුර බුරා නැඟී ගිනි ජාලාව කිලෝමීටර් හතළිස් පහක් පමණ ඈතින් පිහිටි ජෙරුසලම් නගරයට පවා පෙනිණි. ගිලියද් දේශයේ සටන 10 තිමෝතියස් සමඟ සටනට යද්දී නුවරින් කිලෝමීටර් එකහමාරක් පමණ දුර ගිය පසු, අඩු තරමින් පන් දහසක් පමණ වූ පාබළ සේනාවක් සමඟ සිටි, පන්සියයක් පමණ වූ අශ්ව සේනාවක් ද සහිත වූ, අරාබි ජාතික හමුදාවක් විසින් ජූදස්ට පහර දෙනු ලැබී ය. 11 එහි දී දරුණු සටනක් සිදු විය. දේව පිහිටෙන් එදින ජූදස් ජය ගත්තේ ය. පරාජිත වූ අරාබි හමුදාව ජූදස් සමඟ මිත්‍ර ගිවිසුමක් කරගැනීමට කැමැති බව ප්‍රකාශ කළහ. තවද, ඔව්හු තමන්ගේ ගව පට්ටි ජූදස්ට දීමටත්, පොදු වශයෙන් ඔහුගේ යහපත සඳහා ක්‍රියා කිරීමටත් පොරොන්දු වූ හ. 12 ඔවුන්ගේ ආධාරය සෑම අතින් ම වටිනා එකක් බව තේරුම්ගත් ජූදස් ද ඔවුන් සමඟ සාම ගිවිසුමකට එළඹීමට එකඟ විය. මෙසේ පොරොන්දු හුවමාරු කරගැනීමෙන් පසු අරාබිවරු තමන්ගේ ම කූඩාරම්වලට ආපසු හැරී ගියෝ ය. 13 තවද, ජූදස් විවිධ ජාතීන් විසූ, පවුරුවලින් වට වූ, එක්තරා බලසම්පන්න නුවරකට පහර දුන්නේ ය. එහි නම කස්පින් ය. 14 මෙසේ වටලනු ලැබූ අය තමන්ගේ පවුරුවලත් ආහාර ගබඩාවලත් ශක්තිය කෙරෙහි විශ්වාසය තබාගෙන, ජූදස් සහ ඔහුගේ මිනිසුන් කෙරෙහි අහංකාර ලීලාවක් පෙන්වමින්, දේවාපහාස සහ දූෂිත වචන කියමින්, ඔවුන්ට තදින් නින්දා අපහාස කළහ. 15 එහෙත් ජෝෂුවාගේ කාලයෙහි දී, ප්‍රාකාර බිඳින යන්ත්‍රෝපකරණ හෝ යුද්ධෝපකරණ හෝ කිසිවක් නැති ව, ජෙරිකෝ නුවර බිඳ හෙළූ ලෝකයේ පරමෝත්තමයාණන් හට ජූදස් ද ඔහුගේ සෙනඟ ද යාච්ඤා කළෝ ය. ඉන්පසු ව ඔව්හු ප්‍රාකාරයට ඉතා තදින් පහර දුන්නෝ ය. 16 දේව කැමැත්ත අනුව ඔව්හු නගරය අල්ලා ගත්හ. එහි දී ඔවුන් කළ ඝාතනය වචනයෙන් කිව නොහැකි පමණ දරුණු විය; ඒ නිසා ඒ අසල තිබූ කිලෝමීටර් බාගයක් පමණ පළල් වැව ලෙයින් ම පිරී ඉතිරී ගියා සේ පෙනිණි. කර්ණයිම් නම් ස්ථානයේ සටන 17 ඔව්හු එතැන් සිට කිලෝමීටර් එකසිය පනස් දෙකක් දුර ගොස්, ටූබියන් නම් ජුදෙව්වරුන් වසන දේශයේ කාරක්ස් නම් නුවරට ළඟාවූ හ. 18 ඒ අසල දී ඔවුන්ට තිමෝතියස් හමු නොවූයේ ය. ඔහුට වැදගත් කිසිවක් කරගැනීමට නොහැකි වූ නමුත්, එක්තරා ස්ථානයක ඉතා ශක්තිසම්පන්න ආරක්ෂක භට පිරිසක් නවත්වා, ඔහු එම ප්‍රදේශයෙන් නික්ම ගොස් තිබිණි. 19 මකබියස්ගේ සේනාපතියන් දෙදෙනෙකු වූ දොසිතියස් ද සොසිපේතර් ද පිටත් වී ගොස්, තිමෝතියස් විසින් බලකොටුව තුළ නවත්වනු ලැබූ දස දහසකටත් අධික සෙනඟකින් යුක්ත යුද්ධ හමුදාවක් විනාශ කළෝ ය. 20 මකබියස් ද ස්වකීය හමුදාව බළ ඇණිවලට බෙදාගෙන, ඒවාට සෙන්පතියන් පත් කර, එකසිය විසි දහසක පාබළ සේනාවකින් හා දෙදහස් පන්සියයක අශ්ව සේනාවකින් සමන්විත ව, තිමෝතියස්ගේ සේනාව ලුහුබැඳ ගියේ ය. 21 ජූදස්ගේ පැමිණීම ගැන සැළ වූ විට තිමෝතියස් ගත් පළමු පියවර වූයේ, අඹුදරුවන් ද ඔවුන් පිරිවරාගත් බඩු බාහිරාදිය ද කර්ණයිම් යයි කියන ලද ස්ථානයට පිටත් කර යැවීම ය. මන්ද, ඊට ඇතුළු වන මාර්ග පටු ව එහි පැමිණීම දුෂ්කර ව තිබුණු බැවින්, එම ස්ථානය බිඳ හෙළිය නොහැකි ව තිබිණි. 22 ජූදස්ගේ පළමු බළ ඇණිය දුටු විට ම සතුරා බියෙන් තැතිගත්තේ ය. සියල්ල දකින තැනැන් වහන්සේ එහි දර්ශනය වීමෙන් සන්ත්‍රාසයට පත් සතුරෝ හිස් ලූ ලූ අත පලා ගියෝ ය. ඔවුන් මෙසේ පලා යන අතර, ඔවුනොවුන් එකිනෙකාගේ කඩුමුණවලට ලක් වී, ඔවුන්ගේ මිනිසුන් විසින් ම බොහෝ විට ඔව්හු ම තුවාළ කරනු ලැබූ හ. 23 ජූදස් තෙමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතු ව ඔවුන් ලුහුබැඳ ගොස්, ඒ පවිටුන් කැබලි කොට, ඔවුන්ගෙන් තිස් දහසක් පමණ සෙනඟ විනාශ කෙළේ ය. 24 දොසීතියුස් සහ සොසිපේතර්ගේ ද මොවුන්ගේ ද සෙනඟගේ ද බලයට තිමෝතියස් තෙමේ යටත් විය. එවිට ඔහු ඉතා කපටි ලෙස කතා කරමින් තමා පණපිටින් මුදා හරින ලෙස ඉල්ලා සිටියේ ය. එසේ නොකළොත් බොහෝ දෙනකුගේ දෙමව්පියන් ද සමහර දෙනකුගේ සහෝදරයන් ද තමාගේ බලයට යටත් වී සිටින හෙයින්, ඔවුන් මරා දමනු ලැබිය හැකි බව ඔහු කියා සිටියේ ය. 25 ඔහු තමා දුන් පොරොන්දුව ඉටු කරන බවත්, ඒ සෙනඟ සුව සේ යෙහෙන් ආපසු හරින බවත්, බොහෝ වේලාවකට පසු ව ඔහු ඔවුන්ට අවබෝධ කරවූ විට, තමන්ගේ සහෝදරයන් ගළවාගැනීමේ අපේක්ෂාවෙන් ඔව්හු ඔහු මුදා හැරියෝ ය. 26 ජූදස් ද කර්ණයිම් සහ අතර්ගතෙයිඔන් නම් ස්ථානවලට පැමිණි පසු විසි පන්දහසක් සෙනඟ ඝාතනය කෙළේ ය. ජූදස් ආපසු යාම 27 මෙසේ මේ සතුරන් පලවා හැරීමෙන් පසු, ජූදස් තෙමේ ලිසියස් ජීවත් ව සිටි ශක්තිසම්පන්න නගරයක් වූ ඒප්‍රොන්ට විරුද්ධ ව ස්වකීය සේනාව මෙහෙය වූයේ ය. හැඩි දැඩි සිරුරු ඇති තරුණයෝ ප්‍රාකාරයෙන් පිටත සිටගෙන දරුණු ලෙස සටන් කළහ. යුද්ධ යන්ත්‍ර සහ දමාගසන ආයුධ විශාල තොගයක් නගරය තුළ තැන්පත් කර තිබිණ. 28 එහෙත් ස්වකීය බල මහිමයෙන් සතුරු ආරක්ෂක සංවිධාන සිඳ බිඳ හෙළන පරමෝත්තමයාණන්ට යාච්ඤා කොට සටන් කළ, ජුදෙව්වරු නගරය අල්ලාගෙන එහි සිටි විසි පන්දහසක් පමණ සෙනඟ මරාදැමූ හ. 29 ඔව්හු එතැනින් පිටත් වී ගොස් ජෙරුසලමේ සිට කිලෝමීටර් එක සිය විස්සක් පමණ දුරින් පිහිටි ෂිතොපොලිස් නම් නුවර අල්ලාගන්නට උත්සාහ කළහ. 30 එහෙත් එම නගරයේ සෙනඟ ජුදෙව්වරුන්ට හොඳින් සංග්‍රහ කරන බවත් ඔවුන්ට බොහෝ හිරිහැර පැවති කාලවල දී මොවුන් ඔවුන්ට විශේෂ කරුණාව දැක් වූ බවත්, එහි සිටි ජුදෙව්වරුන් ජූදස්ට සහතික කර කියා සිටි විට, 31 ඔහු හා ඔහුගේ සෙනඟ ඒ ගැන ඔවුන්ට ස්තුති කොට, මතුවටත් ස්වජාතිකයන්ට එම මිත්‍රකම දක්වන ලෙස ඉල්ලා සිටියෝ ය. ඉන්පසු මංගල්‍යයට දින ස්වල්පයකට කලින් ඔව්හු ජෙරුසලමට පැමිණියහ. ගෝර්ජියස්ට විරුද්ධ සටන 32 පෙන්තකොස්ත නම් වූ මංගල්‍යයට පසු ඔව්හු ඉදුමියාවේ යුද පරිපාලක වන ගෝර්ජියස්ට විරුද්ධ ව සටනට ගියෝ ය. 33 ඔහු තුන් දහසක පාබළ සේනාවක සහ හාර දහසක අශ්ව සේනාවක සෙන්පතියා හැටියට සටනට පැමිණියේ ය. 34 එම යුද්ධයේ දී ජුදෙව්වරු ස්වල්ප දෙනෙක් මරුමුවට පත් වූහ. 35 එකල ශක්තිසම්පන්න ටුබියන් ජාතික අශ්වරෝහකයකු වූ දොසීතියුස් නමැත්තෙක් ගෝර්ජියස්ගේ සළුවෙන් ඔහු අල්ලාගෙන ඒ සාපලත් මිනිසා පණපිටින් ගැනීමට අදහස් කොට බිම දිගේ ඇදගෙන ගියේ ය. එහෙත් ප්‍රසියානු අශ්ව සේනාවේ කෙනෙක් දොසීතියුස්ගේ ඇඟට පැන ඔහුගේ උරහිස දෙපළු කෙළේ ය. ගෝර්ජියස් ද මරිසා නම් නුවරට පලා ගියේ ය. 36 ඒ අතරතුරේ දී එස්ද්‍රියස් සහ ඔහුගේ සෙනඟ බොහෝ කාලයක් සටන් කොට විඩාපත් ව සිටි බැවින්, සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ මිත්‍රයා ද සටනේ නායකයා ද බව තමන්ට පෙන්වා දෙන ලෙස උන් වහන්සේට යාච්ඤා කළෝ ය. 37 ඉන්පසු ඔහු මහ හඬින් සිය මුතුන්මිත්තන්ගේ භාෂාවෙන් සටන් පාඨ සහ වෙනත් ගීතිකා ගය ගයා ගෝර්ජියස්ගේ සේනාවන් පලවා හැරියේ ය. සටනේ දී මියගිය අය සඳහා යාග පූජා 38 ඉන්පසු ජූදස් සිය හමුදාව එකතු කොට අදුල්ලාම් නගරයට ගියේ ය. සතියේ සත් වන දවස පැමිණි බැවින් ඔව්හු සිරිත් පරිදි තමන් පවිත්‍ර කරගෙන ඒ ස්ථානයේ සටන නැවැත්වූ හ. 39 සටනේ දී මියගිය අයගේ මෘත ශරීර එකතු කොට ඒවා ඔවුන්ගේ නෑදෑයන් අතර පවුලේ සොහොන් ගෙවල්වල තැන්පත් කරන පිණිස ඔව්හු පසු දින ජූදස් වෙත ගියෝ ය. මෙය කිරීම ඉතා අවශ්‍ය විය. 40 එහෙත් මළ හැම කෙනෙකු ළඟ ම, වස්ත්‍රවලට යටින්, ජම්නියාවෙන් ගන්නා ලද දෙවි දේවතාවුන්ගේ සුර ඔවුන්ට දක්නට ලැබිණි. මෙය වනාහි ජුදෙව්වන්ට ව්‍යවස්ථාවෙන් තහනම් කරනු ලැබූ දෙයකි. මේ මිනිසුන් මරුමුවට පත් වූයේ මේ නිසා බව එවිට සියල්ලන්ට ම පැහැදිලි විය. 41 ඉන්පසු සියල්ලෝ ම අඳුරෙහි සඟවන ලද දේවල් ආලෝකයට ගෙන එන සාධාරණ විනිශ්චයකාරයාණන් වන දෙවියන් වහන්සේගේ ක්‍රියා පිළිවෙළ ගැන උන් වහන්සේට ප්‍රශංසා කොට 42 කරන ලද පාපය සම්පූර්ණයෙන් ම මකාදමන ලෙස ඉල්ලා යාච්ඤා කරන්න පටන්ගත්හ. තවද, වීරවික්‍රම ජූදස් සෙනඟට කතා කොට, “මියගිය අයගේ පාපයේ විපාකය ඔවුන්ට තමන්ගේ නෙත්වලින් ම දක්නට ලැබුණු නිසා, ඔවුන් පාපයෙන් වැළකී සිටිය යුතු ය”යි කීවේ ය. 43 ඉන්පසු ඔහු ඔවුන්ගෙන් පෞද්ගලික වශයෙන් මුදල් සම්මාදම් කර රිදී කාසි දෙදහසක් පමණ එකතු කර පාප පූජාවක් ඔප්පු කරනු පිණිස එය ජෙරුසලමට යැවී ය. සැබැවින් ම මෙය වනාහි අනගි උතුම් ක්‍රියාවකි. මෙහි දී ඔහු මළවුන්ගේ උත්ථාන වීම ගැන හොඳින් සලකාබැලී ය. 44 මන්ද, මළාවූ අය යළි උත්ථාන වීම ගැන ඔහු බලාපොරොත්තු වූයේ නැත්නම් මළවුන් සඳහා යාච්ඤා කිරීම අනවශ්‍ය මෝඩ ක්‍රියාවකි. 45 එහෙත් භක්තිමත් ලෙස මෙලොවින් තුරන් වන අයට වෙන් කර තිබෙන අනගි විපාකය ගැන ඔහු කල්පනා කෙළේ නම්, ඒ සිතිවිල්ල ශුද්ධ වූ ද බැතිමත් වූ ද එකකි. ඔවුන් විසින් මළවුන් උදෙසා පූජාවක් ඔප්පු කරනු ලැබීමට ඔහු කටයුතු සැලැස්වූයේ ඒ නිසා ය. මන්ද, එවිට ඔවුන්ගේ පාපවලින් ඔවුන් නිදහස් වන බැවිනි. |